local news

අයියගෙ කර පිටින් පාසල් ගොස් විභාගය ඉහලින්ම සමත් කීර්ති සිසුවා

ගිනිගත්හේන කොළඹ පාරේ කලුගල මංසන්ධිය පසු කර පොල්පිටිය මංසන්ධිය හමු වේ. එතැන් සිට ලක්ෂපාන මාර්ගයේ ටිකක් දුර ගිය විට පල්ලෙවත්ත උප තැපැල් කාර්යාලය අසලින් වම් පසට ටික දුරක් ගිය විට නීලවත්ත ගම්මානය හමු වේ. එහි සිට මීටර් හාරසීයක් දිවෙන ගල්පඩි පෙලක් පසු කලවිට හමු වන කුඩා නිවස නමින් කීර්ති චන්ද්‍රසිරි දරුවාගේ නිවසයි.

ඉතා සුන්දර මනරම් පරිසරයක් හෙබි මේ පළාත දුටුවන්ගේ නෙත් සිත් වසඟ කරන්නේ සුන්දර කදු පන්තීන්ගෙන් අනූන පරිසරයක් නිසායි. එහි සුන්දරත්වය දකින්නේ අසිරිය විදින්නට යන අය පමණි. නමුත් ගම්වැසියන්ට එහි සුන්දරත්වයට වඩා දුෂ්කරතාව පෙනෙන්නේ දෛනිකව ඔවුන්ගේ ක්වැඩකටයුතු සිදු කරගැනීමට අවැසි නිසයි.

2020 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඇති මෙම කීර්ති චන්ද්‍රසිරි සිසුවා මප/ හැටන් කැලනිගම මහා විද්‍යාලයේ ඉගනුම ලබයි. ඔහු දහසය හැවිරිදි ය. පාසල් කාලයේ 8 ශ්‍රේණියට විතර යන කම් පන්තියේ ප්‍රථම ස්ථානයන් පවා ලබා ගැනීමට හැකිවුණා. ඒ ඔහු ඉගෙනීමට ඉතා දක්ෂයෙක් නිසායි.

ඉන් පසු ටික දවසක් ගත වුණා. කකුලේ කටුවක් ඇනී ඇති වගේ වේදනාවක් දැනුණු කීර්ති ට කකුල කොර ගැහෙන්න අරන් අඩිය තියාගන්නවත් බැරි තැනට පත්වුණා. ටික කාලයක් පාසල් යන්නටත් නො හැකි වුණු කීර්ති කෙසේ හෝ මාසයට දවස් දෙක තුනක් හරි ඉස්කෝලයේ ගියේ ඉගෙනීමට තිබූ අශාව නිසයි. පාසලේ විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයත් කීර්තිට ගොඩක් උදව් කලා. ඒ අතරෙදි මොහුට ඇවිදින්න බැරි වීමත් සමග ළමා රෝහලටද අරගෙන ගොස් අවසානයේ දරුවාට මයෝපති යන රෝගය වැළදී ඇති බව දැන ගන්න ලැබුණා.

මයෝපති යනු ජානමය රෝගයකි. එම නිසාම මව පරීක්ෂා කල වෛද්‍යවරු පැවසූයේ මවටත් මයෝපති රෝගය වැළඳී ඇති බවයි. කොඳුඇට පේලියේ අසාමාන්‍ය වෙනස් වීම හා මාංශ පේශි දියවීම යන රෝග ලක්ෂණ පෙන්වන්නේ මේ මයෝපති රෝගය තුලිණි.

ඉන් පසු කෙසේ හෝ කරදර පීඩා අමාරුකම් විඳගෙන කීර්ති වෛද්‍යවරුන්ට යොමු කලද කාලය ඉක්ම යාමත් සමග ඔවුන්ට කරදර පීඩා ඒමත් සමග එය සිදු කිරීමට නො හැකි විය.

ඉන් පසු තම කරපිට පුතා ව පාසල් ගෙන ගිය පියාට ද සිදු වූයේ නො සිතූ දෙයකි. ඒ කීර්තිගේ පියා කොස් ගහකින් පහලට වැටී උරහිසෙහි ආබාධයක් ඇති වීම හේතුවෙනි. පියාට හරිහාමන් රැකියාවක් කරගැනීමට නො හැකි වූ කල කීර්තිගේ සහෝදරයා එසේත් නැතිනම් කීර්තිගේ අයියා තම මල්ලිව පාසල් රැගෙන ගියේ. ඒ තම පාසල් ගමන නතර කර දමාය.

මෙබඳු කාලයක මෙවැනි පරාර්ත්කාමි සහෝදරයන් ලැබීම ගැන කිර්ති බෙහෙවින් වාසනාවන්ත චරිතයකි. තමන්ගේ මල්ලීගේ අනාගතය මල් ඵල ගැන්වීමට වෙර දරන උතුම් සහෝදරයෙක් ලෙස කීර්තිගේ අයියා ගැන අපට කිව හැක. ඉතින් එවන් වූ කැපකිරීමක් කල අයියාට එය ගඟට ඉනි කැපුවාක් මෙන් විනාස වූයේ නැත.
මල්ලීව තම කර පිට ගෙනගොස් පාසල් යවා ඔහු ඉතා ඉහලින්ම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් විය. සම්මාන සාමාර්ථ තුනක් සමගින් විෂයන් නවයම සමත්වෙමිනි. එය කිර්තිටත් අම්මා තාත්තා අයියා ඇතුළු සිය පවුලේ සියලු දෙනාගේ ම සිහිනයක් මල් ඵල ගැන් වූවාක් මෙනි.

මෙවැනි දුෂ්කරතා තිබිය දී කීර්ති දරුවා රටට ම ලබා දුන්නේ මහඟු ආදර්ශයකි. එය මෙතෙකැයි කිව නොහැකිය. කරදර බාධක නො තිබෙන සැපට හැදී වැඩෙන දරුවන් අතර කීර්ති නො සැලෙන ශක්තියකින් යුතු දරුවෙක්. මෙවැනි දරුවන් අනාගත පරපුරට ම මහත් ආදර්ශයක්. එම නිසා කීර්තිගේ අනාගතය මල්පල ගැන්වෙන්නට අපි සැවොම එක ලෙසින් ප්‍රාර්ථනා කරමු.

Leave a Comment