local news

එයාව අතක් පයක් කඩලා හරි පුලුවන්නම් ගෙනත් දාන්න වැලිමඩින් ඇහුණු අමුතු කතාව

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පුද්ගලයෙකුගේ අතුරුදන් වූ කතා පුවතක් අපිට අසන්නට ලැබුණා. ඒ වැලිමඩ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ප්‍රේමසිරි නෙලුම්දෙණිය මහතා. ඔහු වෘත්තියෙන් නිලධාරියෙක් ලෙස තම රාජකාරි සිදු කරන අතර දරුවන්ට ආහාර රැගෙන ඒම සඳහා වැලිමඩ නගරයට ගිය අතරතුර ඔහුව කිසියම් පිරිසක් විසින් ත්‍රීරෝද රථයක බලහත්කාරයෙන් නංවාගෙන පැහැර ගොස් ඇති බව මූලික විමර්ශනවල තිබෙනවා. පැහැරගැනීමේ සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ද සොයාගෙන ඇතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.

පැහැරගැනීමට ලක්වූ ප්‍රේමසිරි නෙළුම්දෙණිය මහතා දරුවන් දෙදෙනකුගේ පියෙක්. ඔහුගේ වැඩිමහල් දියණිය චාමිකා ගයත්‍රි බණ්ඩාරවෙල මධ්‍ය විදුහලේ උසස් පෙළ හදාරන අතර දුමිදු කල්හාර වැලිමඩ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. තම සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රේමසිරි මහතාගේ බිරිය වන නිල්මිණී සේමචිත්‍රා මහත්මිය දැඩි කම්පාවට පත් වෙනවා. ඒ වගේම පියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ද දරුවන් ඉතා කම්පාවෙන් තමයි පසුවන්නේ.

මීට වසර කිහිපයකට ඉහත දී රටම කම්පා කරමින් කාන්තාවන් ගණනාවක් දින දින අතුරුදන්වීමේ සිදුවීම් වාර්තා වුණේ රත්නපුර කොටකෙතන ගම්මානයෙන්. ඊට යම් සමාන කමක් දැක්වූ එදා වැලිමඩ ප්‍රදේශයෙන් මේ වන විට අතුරුදන්ව ඇත්තේ පිරිමි පුද්ගලයන්. වසරක කාලයක් තුල මෙලෙස පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව තිබෙනවා. තම සැමියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විලාප දෙන නිල්මිණී සේමචිත්‍රා මහත්මිය මෙලෙස අදහස් ප්‍රකාශ කලා.

පසුගිය 26 වැනිදා මගේ මහත්තයා වැඩට ගිහින් සවස දෙකයි තිහට විතර ගෙදර ආවා. නැවතත් සවස 4 ට විතර ටවුමට ගියේ එළවළු සහ හවස තේ බොන්න මොනවා හරි අරගෙන එන්නම් කියලා. අපි මහත්තයා එන්න පරක්කු නිසා හවස පහයි තිහට විතර මහත්තයට කෝල් කරලා බැලුවා. එතකොටත් ෆෝන් එක වැඩ කළේ නැහැ. එයා අතුරුදන් වෙලා අදට දවස් විසි හයක් වෙනවා. අපි දන්න දේවාල ගාණෙ ගියා. සාස්තර අහන කොට කියන්නේ තුන් දෙනෙක් එක්ක හිර කරගෙන ඉන්නවා කියලා. දරුවො කියනව තාත්තා කවද හරි ආපහු එයි කියලා. පොලිසියෙන් කියන්නෙ ඔයාලත් හොයන්න ඔයාලට තොරතුරක් ආවොත් අපිට කියන්න කියලා. නමුත් තාම විසඳුමක් නෑ. මම දන්න විදියට මගේ මහත්තයට තරහාකාරයෝ හිටියේ නෑ. අපි කුලුබඩු පැකට් කරලා අලෙවි කිරීම ස්වයං රැකියාවක් විදියට කලා. අපට ඒ ව්‍යාපාරය සති හතරයි කරන්න පුළුවන් වුණේ. පස්වැනි සතියෙ මහත්තයා නෑ.

මේ අකාරයට අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිද තම සැමියා නැති ශෝකය පළ කලා. මෙම ප්‍රේමසිරි මහතා කාර්යාලයේ ඇසුරු කල අය පිලිබදව නිවසේ කිසිවෙකුත් නොදැන සිටිමත් ඔහු සංගීත සංදර්ශන වලදී ගීත ගායනා කරන බවත් මගුල් පෝරු පිරිත් මණ්ඩප්ප හැදීමටත් දන්න බව බිරිදගෙන් දැනගන්න ලැබුණා. මගුල් ගෙදරක දී ඇර මත්පැන් පානය නොකරන කෙනෙකි. ගොඩක් වෙලාවට ආගම දහම සමග බැදුණු කෙනෙක් ලෙස ප්‍රේමසිරිව හදුන්වන්න පුලුවන්. ප්‍රේමසිරි මහතාව කැලෑ වලත් ගංගාවලත් නිවැසියන් සෙවුවත් ඔහුව සොයාගැනීමට නොහැකිවුනා. ඒ පාරේ සවස් කාලයේ යනවිට එක සෙරෙප්පුවක් පර්ස් එකක් ගෙනත් දාලා ගිහින් තිබිලා හම්බුණා. ඒවා සොයා ගැනුනේ ඇටම්පිටිය හරියෙදි.

තම සහෝදරයාට සිදු වූ මෙම කරදරය පිළිබඳව ප්‍රේමසිරි මහතාගේ නිවැසියන් මෙන්ම පවුලේ හිතවතුන් ඥාතීන් ගේ ද කණගාටුවට පත් වෙන කරුණක්. සීසීටීවී කැමරා දර්ශන වලට අනුව තිදෙනෙක් ප්‍රේමසිරි මහතාව ත්‍රීවිල් රථයකට දාගෙන වැලිමඩ සිට ත්‍රීවිල් එකේ බදුල්ලට ගෙනිහින් බදුල්ලේ දී වෙනත් වාහනයකට දාගෙන තිබුණා කියලා ත්‍රීවිල් අයිති කෙනා කියලා තියෙනවා. සතෙකුටවත් හිංසා පීඩා නොකරන ප්‍රේමසිරි මහතාට අද මෙහෙම වුණේ ඇයි කියලා පවුලේ සියල්ලෝ ම කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔහු එන මඟ තවමත් බලා සිටිනවා.

මෙම අතුරුදන් වීමේ වේදනාව දැනෙන්නේ ප්‍රේමසිරි මහතාගේ පවුලේ අයට මිස වෙන කාට ද. දරු දෙදෙනෙකුට පියෙකු වගේම බිරිඳකට සැමියෙකු අද හිමි වෙලා. ඒ දරුවන් තම ආදරණීය තාත්තා කොයි මොහොතේ හෝ යළිත් ගෙදර ඒ වී යන බලාපොරොත්තුවෙන් මග බලා සිටිනවා. පැහැර ගැනීම සිදුකළ හේතුවක සේයාවක් වත් නොදන්නා දරුවන් මෙන්ම බිරියද මේ මොහොතේ අන්ත අසරණව සිටින බවට නම් සැකයක් නැහැ. ඒත් පිළිතුරු නැති මේ ප්‍රශ්නයට හෙට දිනයේ සොබාදහම පිළිතුරු ලබා දෙනු ඇති. ඒ පිළිතුරෙන් මේ දරු දෙදෙනාටත් ඔහුගේ බිරිඳටත් සැනසීමක් ලැබේවායි යන්න අප සැමගේ පැතුමයි.

Leave a Comment