local news

ජීවන ගමන නිම කල රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා ගැන දයාන් විතාරණයන් තැබූ හිතට දැනෙන සටහන

සම්පත් තෙන්නකෝන් යන සොඳුරු රංග වේදියා වේදිකාව පුංචි තිරය හා සිනමාව යන අංශ තුනම එක සේ ජයගත් අති දක්ශ රංගන ශිල්පියෙක් ලෙස හදුනාගත හැකියි. මේ දක්ෂ රංගන ශිල්පියා විවාහ වී සිටින්නේ මෙරට තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වන රත්නා ලාලනී ජයකොඩි මහත්මිය සමගයි.

සම්පත් තෙන්නකෝන් මහත්මා පසුගිය දිනවල අපිට දැකගන්න ලැබුනේ දිවිතුරා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයේ සීයා ලෙසයි. ඉතින් මෙම රංගධරයා පිලිබදව නොදන්න කෙනෙක් නැති තරම්. ලොකු කුඩා හැමෝගෙම ආදරය දිනාගන්නට සමත් වුණු මෙම ප්‍රවීන රංගන ශිල්පියා පසු ගිය දිනවල රෝගාතුර වී රෝහල් ගත වෙලයි සිටියේ. ඉන්පසු ඔහුගේ තත්වය බරපතල වූ බැවින් හදිසි ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන ජීවන ගමනට සමුදුන්නා. ඒ කාගේත් නෙත් තෙත් කරවමින්.

ඉතින් හැමදාම වගේ විශේෂ අවස්ථා වල සටහන් තබන දයාන් විතාරණයන් මේ ගැනත් හිතට දැනෙන්න සටහනක් පළ කර තිබුණා.

” රත්නත්‍රයේ පිහිටෙන් සුව පැතූ සම්පත්, සියලු සැප සම්පත් හැර දමා දිවි රග මඩලින් නික්ම යයි. ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අක්මාව ආශ්‍රිත රෝගයකින් කලක් පෙලෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර අද උදෑසන සිය ජීවන ගමන නිමා කළේය. සම්පත්ව මා හදුනාගත්තේ මීට වසර 27කට පමණ පෙර මා රූකාන්ත ගුණතිලකව හදුනා ගන්නා සමයේය. එකල අප නිරන්තරයෙන් මුණ ගැසෙන අතර එක්ව පැදුරු සාජ්ජවල ගී ගයනවා මතකය.

දයාරත්න රටගෙදරගේ ‘ගුරු ලිසී’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප්‍රවිෂ්ට ඔහු ‘නුඹ විතරක් තළ එලලුයි’ නාට්‍යයේ කළ ලූෂන් නැමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයටද පාත්‍ර වූවේය. එමෙන්ම ‘තලමල පිපිලා’, ‘හිට්ලර්’, අඹු සැමියෝ සහ ගුරු තරුව වැනි වේදිකා නාට්‍ය රැසකම රංගනය කල හෙතෙම රන් දොරටුව, බුමුතුරුණු සහ භාග්‍යා වැනි ටෙලිනාට්‍යයන් හි රංගනය කරමින් පුංචි තිරයද අතික්‍රමණය කලේය. විජය ධර්ම ශ්‍රී ගේ ආරාධනා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙසින් සිනමාවට අවතීර්ණ වූ සම්පත් හිමගිර චිත්‍රපටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබීය. ඉන්පසු අහස් මාලිගා, මධුරී, ගිනි අවි සහ ගිනි කෙලි, සරෝජා වැනි චිත්‍රපට කිහිපයකම රංගනය කලේය. සෝමරත්න දිසානායකයන්ගේ සිරි රජ සිරි චිත්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත් සිරි පැරකුම් චිත්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැදෙන චරිත ද්විත්වයකි. තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනීගේ එකගෙයි සොකරී චිත්‍රපටයේ සම්පත් කැපීපෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත.

දක්ෂ වේදිකා නාට්‍ය නලුවෙක් වන ඔහු ගී ගයන්නට සමතෙකි. කුසලතා පූර්ණ ජ්‍යෙෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක සහ දක්ෂ ගායිකාවක වන රත්නා ලාලිනී ජයකොඩිගේ ප්‍රියාදර සැමියා වන සම්පත් 2004 මගේ සිත්තම් කරමින් ප්‍රසංගය නැරඹීමට ද පැමිණ මා දිරිමත් කලේය. 2000 වසරෙ ඔහු සිය පවුල සමගින් මගේ චිත්‍රාගාරයට පැමිණ ඡායාරූප ගත් අතර අනතුරුව ඉකුත් 2019 වසරේ අප්‍රේල් 4 පැවති පැදුරු සාජ්ජයකදී ද මා ඔහුත් රත්නාත් යළි ඡායාරූප ගත්තෙමි. මේ කාලයේ අපට වටිනා කලාකරුවන් රැසක් අපෙන් සමුගත් අතර සම්පත් වැනි ජාතික සම්පත් මෙසේ අපෙන් දුරස් වීම දරාගත නොහැකි අඩුවකි. එමෙන්ම රත්නා ඇතුළු සැමට මගේ සාතිශය සංවේගය ද දන්වන අතර ආදරණීය සම්පත් ඔබට නිර්වාණ ස්වර්ණ ද්වාරය දුරක නොවන්නට පිංපෙත් පමුණුවමි.”

ඉතින් මෙම කලාකරුවා ජීවන රග මඩලින් සමුගන්නා විට 62 හැවිරිදි වියේ පසු වුණා. ඔහුගේ පෞද්ගලික ඉල්ලීම වූයේ පැය විසි හතරක් යාමට පෙර අවසන් කටයුතු සිදු කරන ලෙස ඔහුගේ බිරිද වන රත්නා ලාලිනි සදහන් කලා. ඉතින් දිවි මඩලට සමුදුන් සම්පත් තෙන්නකෝන් මහත්මාණෙනි ඔබ තුමන්ට නිවන් සුවය අත්වේවා.

Leave a Comment