local news

මහ රෑ ඔහිය සහ පට්ටිපොල අතර දුම්රියට පනින අද්භූත සත්වයා දුම්රිය රියදුරෙකු මුහුණ දුන් අද්භූත අත්දැකීම මෙන්න

ලංකාවේ දුම්රිය ගමනාගමනය නිල වශයෙන් ආරම්භ වුණේ 1864 වර්ශයේ. එතැන් පටන් මේ දක්වා දුම්රිය පැමිණි ගමන තුළින් සොයාගත හැකි රසමුසු තැන් බොහොමයි. ඒ මගියන් වගේම රියදුරන් මුහුණ දුන් අත්දැකීම්. රස මුසු තැන් පමණක් නොව විටෙක කිසිවකු විශ්වාස නොකරන අද්භූත සිදුවීම් රැසක් ද දුම්රිය වංශ කතාව සමඟ බද්ධ වෙලා තියෙනවා. විශේෂත්වය වන්නේ වසර සිය ගණනාවක් පුරාවට ම පවතින මේ අද්භූත විශ්වාසයන් වර්තමානයට ද එකසේ වලංගු වීම. එම අද්භූත අත්දැකීම්වලට මුහුණ දුන් දුම්රිය නිලධාරීන් බොහොමයක් අද සොයාගත හැකියි. ඔවුන් මුහුණ දී ඇති ඇතැම් අත්දැකීම් විටෙක ඇඟ කිලිපොලා යන තරම් බිය ජනක ඒවාත් ඇත.

මීරිගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටා ඇති දුම්රිය රියදුරන්ගේ නේවාසිකාගාරය මේ අතරින් එක් ස්ථානයක්. අද වන විටත් රාත්‍රියේ නවාතැන් ගැනීමට දුම්රිය රියදුරන් බොහෝ දෙනෙකු දක්වන්නෙ අකමැත්තක්. මීරිගම දුම්රිය රියදුරු නවාතැන්පොළ භූත බංගලාවක් බවට පත්වූ දිනය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් නැතත් එය සිදුවී ඇත්තේ මීට දශක කීපයකට පෙර බවට සාක්ෂි හමුවී තිබේ. වාර්තා වන අන්දමට මීරිගම දුම්රිය නවාතැන්පොළ භූත බංගලාවක් බවට පත්ව ඇත්තේ දුම්රිය රියැදුරකුගේ දියණියක් එහි කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගැනීමෙන් පසුවයි. මියගිය තරුණිය එතැන් පටන් කිහිප වතාවක් එකී කාමරය තුල සැරිසරමින් දුම්රිය රියදුරන් බියට පත්කර තිබුණා. ඔවුන් සියලු දෙනාම දැක ඇත්තේ ඇය කාමරය තුළ ගෙළ වැළලාගෙන සිටින දර්ශනයයි. ඉතින් එයින් බියට පත් වී අද වන තෙක් මීරිගම දුම්රිය රියදුරු නේවාසිකාගාරය පැත්ත පලාතේ නොගිය රියදුරන් කිහිප දෙනෙකුම සිටිනවා. ඒවගේම එය අසා බියට පත් වූ මීරිගම නවාතැන් ගැනීමට අකමැති රියදුරන් බොහෝ දෙනකු ද සිටිනවා. මෙ කී හේතුව නිසා එම කාමරයේ රාත්‍රිය ගත නොකරන නිසාවෙන් අදටද එම කාමරය හැර දමා ඇත්තේ.

ඒ වගේම දුම්රිය සේවය හා සම්බන්ධ තවත් භූත බංගලාවක් පිහිටා තිබෙන්නේ ගෙලිඔය ප්‍රදේශයේ. ගෙලිඔය නේවාසිකාගාරය හොල්මන් බංගලාවක් වීමට නිශ්චිත හේතුවක් නොමැති වුවත් රියදුරන් බොහෝ දෙනකු පවසන්නේ ගෙලිඔය යනු නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් නොවන බවයි. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සතු තවත් භූත බංගලාවක් පිහිටා ඇත්තේ ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේ . ගල්ඔය දුම්රිය ස්ථානයට මදක් එපිටින් පිහිටා ඇති මේ නේවාසිකාගාරය ද වර්තමානය වන විට අත්හැර දමා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූත බංගලාවන් හි තත්ත්වය එසේ වෙද්දී දුම්රිය මාර්ගය දිගේ දක්නට ඇති තවත් අද්භූත සිදුවීම් පිළිබඳව තොරතුරු රැසක් ද සොයා ගත හැකියි. ඒ අතරින් ප්‍රධාන සිදුවීම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය ගමන් කරන උසම ස්ථානයේ දී ය. ඒ පට්ටිපොල සහ ඔහිය දුම්රිය ස්ථානය අතර. පට්ටිපොල සිට ඔහිය දක්වාම දුම්රිය මග ගමන් කරන්නේ ජනශූන්‍ය වනාන්තරයක් මැදිනි. දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා සුන්දර මේ ඉසව්ව දෙස් විදෙස් සංචාරකයන් අතර ද අතිශය ජනප්‍රියයි. නමුත් තවමත් දුම්රිය රියදුරන් මේ අසලින් දුම්රිය ගෙන යන්නේ තිගැස්මෙනි. දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය අසලින් රාත්‍රී කාලයේ ගමන් කරන දුම්රිය ඉදිරියට සුදු පැහැති ගෝනකු පැනීම මේ අද්භූත සිදුවීමයි. මේ අත්දැකීමට බෙහෙවින් මුහුණ දෙන්නෙ රාත්‍රී තැපැල් දුම්රියේ සේවයේ නියුතු රියදුරු මහතුන්. මෙය දුම්රිය රියදුරකු ජීවිත කාලය තුළ එක් වරක් මුහුණ දෙන සිදුවීමක් නොව කිහිප වරක් මුහුණ දෙන සිදුවීමක් බවට පත්වෙලා තියෙනවා.

නමුත් දුම්රියේ ගැටුණු කිසිදු සතෙකුගේ ශරීරය සොයාගැනීමට දුම්රිය කාර්ය මණ්ඩලය අසමත් වෙලා තියෙනවා. දුම්රියේ ගැටුණු සුදු ගෝනා සොයා ගැනීමට උත්සාහ කළ සියලු අවස්ථාවල දී සිදුවී ඇත්තේ එකම දේ . එම නිසා මෙය සාමාන්‍ය දෙයක් බවට දුම්රිය රියදුරන්ට පත්වී තිබෙනවා. ඒ කෙසේ නමුත් ඔහිය සහ පට්ටිපොල අතර දුම්රිය මාර්ගය පරික්ෂා කිරීම සඳහා පා ගමනින් ගමන් කරන මාර්ග පරීක්ෂකයන් දෙදෙනෙකුද රාත්‍රී කාලයේ සේවයෙන් යුක්ත වෙලා සිටිනවා. ඔහිය සහ පට්ටිපොල අතර දී දුම්රිය රියදුරන් අද්භූත අත්දැකීමට මුහුණ දෙද්දී තවත් මෙවැනිම අද්භූත අත්දැකීමක් අත්විදීමට හැක්කේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දිය .දුම්රිය ස්ථාන දෙකක් අතර පිහිටා ඇති වැඩිම බිම්ගෙවල් ගණන ද පිහිටා තිබෙන්නේ මෙම ඉසව්වේ. දිවා කාලයට ඉතා ගුප්ත ස්වභාවයක් පෙනුනද නිතැතින්ම මේ ඉසව්වේ තම බිය දුරු කර ගැනීමට සඳහා දුම්රිය සේවකයන් විසින් දේවාලයක්ද ඉදිකර තිබෙනවා.

දුම්රිය වංශ කතාව හා සම්බන්ධ තවත් මෙවැනි රසවත් සිදුවීම් ගණනාවක් දුම්රිය නිලධාරීන් සමඟ කතා බහ කිරීමෙන් සොයාගත හැකියි . ශ්‍රී ලංකාව තුළ දුම්රිය සමග බැඳුණු අපූරු උප සංස්කෘතියක් බිහි වීමට ද මේ රසවත් කතන්දර හේතු වී ඇති බවට සැකයක් නැත.

Leave a Comment