local news

වේගයෙන් යන්න එපා මට අමාරු නැහැ නිවුන් බිළිඳුන් ළමැදේ හොවා අවසන් ගමන් ගිය අම්මා

ශිෂ්ටසම්පන්න ලෝක සම්මතයට ගරු කරමින් සරණ බන්ධනයෙන් අත්වැල් බැඳගන්නා යුවතිපතින්ගේ ඒකායන පැතුම දරු සම්පතයි. එයින් ඇය උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලබන්නේ, සැමියාට ද එලෙසම ගරු බුහුමන් ලබන පිය පදවිය උරුම කරවමිනි. එලෙස එම පදවිය උරුම කරගෙන දරු සම්පතක් තුරුලු කරගන්නට පෙරුම් පිරූ රණවිරු පියෙකුගේ පැතුම් පසුගියදා ඔහුගේ ඇස් පනාපිටම බොඳව ගියා.

ඒ මොළකැටි සිඟිත්තන් පමණක් නොව ඔහුගේ දයාබර බිරිඳ ද මරුවාට ගොදුරු වීම නිසයි. මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ පොල්පිතිගම කිරිබමුණගම යාය ග්‍රාමයේ සිටී අමරසිංහ මුදියන්සේලාගේ ඉෂානි චතුරිකා බණ්ඩාර නමැති 27 වැනි වියේ පසු වූ තරුණ කාන්තාවක්. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයේ නිරතව සිට ඉකුත් නොවැම්බර් මස පළවෙනිදා සේවයෙන් විශ්‍රාම ගිය ඒ.එම්. ප්‍රේමරත්න බණ්ඩාර හා ඔහුගේ බිරිය වූ ශාන්ති යුවළට දාව උපන් පවුලේ එකම ගැහැණු දරුවා ඇයයි.

ඇය පවුලේ වැඩිමලා. ඔවුන් දෙපාර්ශවයේම ආශිර්වාදය මැද අතිනත ගත්තේ 2020 ජූලි මස 27 වැනිදා ය. සහකරු වූයේ හර්ෂ අමරනාත් රත්නායකය. ඔහු ගල්ගමුව ඇහැටුවැව දිව්ල්ගනේ ග්‍රාමයේ පදිංචි කරුවෙකි. මංගල උත්සවය ජයටම සිදුකෙරුණු අතර ඔහු ඇයව ඔහු ම ඉදි කළ සුන්දර නිවහනකට රැගෙන ගියා. විවාහයෙන් පසුව ඔවුනට දරුඵල ලැබීමේ මං පෙත් විවර වුණා. ඒ අනුව පොල්පිතිගම මාතෘ සායනයට මුලින්ම ගිය ඇය වෛද්‍යවරුන්ගෙන් ලද ඉඟියක් මත නිකවැරටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු වුණේ එය සක්සුදක් සේ දැන ගැනීම සඳහායි.

ඇයට නිවුන් පුතුන් දෙදෙනකු පිලිසිද ගෙන ඇති බව එහිදී අනාවරණය වුණා. නිම්හිම් නැති සතුට අතරේ ඇය සෑම මසකම අදාල සායනවලට නිකවැරටියට පා තැබුවේ ඇයගේ රැකවරණයට සෙවණැල්ලක් මෙන් සැමියාද සිටි නිසයි. කාලය ටිකෙන් ටික ලං වුනා. එළැඹෙන දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී ඇයට නිවුන් දරු පැටවුන් ලැබීමට නියමිතව තිබුණා. ඒ සඳහා පවුලේ දෙපාර්ශවයම ඇඟිලි ගනිමින් පසුවූයේ දෙපැත්තෙන්ම දරු පැටියෙකු ගෙට ගැනීමේ වාසනාව උදාකර ගන්නා පළමු උදවිය මොවුන් වෙන නිසයි. පුතුන් දෙදෙනෙකු ට අවැසි සියලු ඇඳුම් ඉෂානිම මැසුවා. ඇයගේ අම්මා හා නැන්දම්මා ඊට රටා දමමින් මල් ගෙතුම් වලින් ඇඳුම් හැඩ කළා.

ඇය නොවැම්බර් දෙවෙනි දින උදේ ම කෑම නොකා වතුර වත් නොබී නිවසින් පිටත් වුණා. ඒ පොල්පිතිගම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට අවශ්‍ය රුධිර සාම්පල් ලබා දී ඇත. ඒ එම මධ්‍යස්ථානයට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වීම සඳහායි. පසුදින එනම් තුන්වැනි දිනයේ දී ඇය ඒ කරා පිය නැගුවේ අදාළ පරීක්ෂණ වාර්තා අතට ගැනීමටයි. එහෙත් විශේෂඥ වෛද්‍යවරයා පැමිණියේ නැහැ. ඒ අනුව ඇය නිවස බලා පිටත් වුනා. මේ සියල්ල සඳහා ඇය ගමන් කළේ කලේ තනිවමයි ඒ තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් තත්වයකින් පසු වූ නිසයි.

4 වැනි දින ඇයට උගුර රිදෙන්නට වුණා. පවුලේ අය වහ වහා ඇය පොල්පිතිගම පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත යොමු කළත් ඔහු ප්‍රතිකාර ලබා දීමක් නොකර කුරුණෑගල ශික්ෂණ රෝහලට යන ලෙස උපදෙස් දුන්නා. කුරුණෑගලට බැහැ සායන සඳහා යන්නේ නිකවැරටියට ලෙස ඇය පැවසූ විට එසේ නම් එහෙ යන්න ලෙස අදාල ලිපියක් ලියා වෛද්‍යවරයා ඇයට දුන්නා. එහිදී සවස ඔවුන් සතු වාහනයකින් නිකවැරටිය මූලික රෝහල බලා පිටත් වුනා. වේගයෙන් යන්න එපා මට අමාරු නැහැ යන ගමනේදී ඇය පැවසුවා. සිදුකර තිබූ පරීක්ෂණ වාර්තා හා පොල්පිතිගම වෛද්‍යවරයා දී තිබූ ලිපිය පවුලේ අය නිකවැරටිය රෝහලට පෙන්නුවා.

එම රෝහලේ වෛද්‍යවරු ඇයට ඩෙංගු වැළඳී ඇති බවට අනුමාන කළා. එහෙත් සිදු කළ පරීක්ෂණවලදී එවැන්නක් වැළඳී නැත. තවත් අය ඇයට මී උණ වැළඳී ඇති බවට ද තීරණය කලා. මේ සම්බන්ධව කළ පරීක්ෂණ වලදී ද ඇයට එවැනි රෝගයක් වැළඳී නැති බවයි සඳහන් වුණේ. රෝහල් ගත කර තිබූ ඇයගේ තත්වය එන්න එන්නම දරුණු අතට පත්වුණා. උපතින් පැහැපත් ව සිටි ඇය කහ පැහැති වී තිබුණා. ඇය වහාම කොළඹ ද සොයිසා කාන්තා මාතෘ රෝහල වෙත යවන්නට වෛද්‍යවරු තීරණය කළා. ඒ අනුව වෛද්‍ය කණ්ඩායමේ උපදෙස් අනුව 6 වෙනි දින ඇය කොළඹ ද සොයිසා කාන්තා මාතෘ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. එම රෝහලේ දී ඇය පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් ඇය ගේ දිවි බේරා ගැනීම සඳහා පවුලේ අයගේ කැමැත්ත මත කුස තුළ සිටි දරුවන් දෙදෙනා වැකුම් තාක්ෂණයට අනුව එළියට ගැනීමට යුහුසුළුව කටයුතු කළා. අට මසක් වයසැති බිළිඳු සිරුරු දෙක එළියට ගන්නා විටත් දෙදෙනාම මළ දරු උපත්ය.

එම බිලිදුන් ලොව දැකීමේ වරම ට අහිමි කම් කිව්වත් දෙදෙනාම උපන් බරින් නම් සම්පූර්ණ වී තිබුණා. අම්මට පියවි සිහිය ලැබුණු පසුව ඇයට පෙන්වන්නට එම බිලිඳු සිරුර ආරක්ෂා කර දෙන්නැයි සැමියා කළ ඉල්ලීමට කාර්යමණ්ඩලය අවනත වුණා. එහෙත් තමා කුස තුළ හොවා සිටි ඒ පුතුන් ගේ නිසල සිරුර දැකීමට හෝ ඇයට යළි පියවි සිහිය ලැබුනේ නැත. ඒ සිඟිත්තන්ගේ අහිමි වීමෙන් ගත වෙන දා එනම් දාහතර වැනි දා අලුයම් කාලයේ දී ජීවත් වන්නා වූ සැමට වේදනාව උරුම කර දී ඉෂානි චතුරිකා ජීවිතයෙන් සමුගත්තා. ඇයගේ වකුගඩු වලට හා අක්මාවට හානි පැමිණ තිබුණා. නමුත් ඇයගේ දිවි අහිමි වීමට හේතුව නිශ්චිතව සඳහන් වී තිබුණේ නැහැ.

ඇයගේ නිසල දේහය සැමියාගේ ගම් පෙදෙසට අයත් ගල්ගමුව දිවුල්ගනේ නිවසේ තැන්පත් කෙරුණු අතර සයනය මත නිසල මවගේ ගත දෙපස සිඟිති පුතුන් දෙදෙනාද තබා තිබුණු දුටු සැමගේ හදවත් සසල වුණේ තමන්ටද නොදැනීය. බෝනික්කන් වැනි සිරුරු හැඩ කර ඇත්තේ අවු වැසී මැසි මදුරු උවදුරු වලින් ආරක්ෂා වෙන්නට ඉෂානිගේ දෑතින්ම සූදානම් කර තිබූ ඇඳුම් කට්ටලයෙන්මයි. නිවසේ තැන්පත් කර තිබූ ඉෂානි ගෙන ගේද සිඟිති පැටවුන්ගේ සිරුරු හිරු අවරට බැස යන හෝරාවේ දී ආගමික වතාවත් වලින් පසුව දිවුල්ගනේ පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණේ ලොවක් හඬවාලමින්.

Leave a Comment