local news

“වැලහින්න එක්ක පැයක් පොර බැදුවා” වැලහින්නක් සමග සටන් වැද දිවි ගලවාගත් මනතුංග

වලහ යනු කැලෑවෙ සිටින නපුරුම සතාය. එමෙන්ම මිනිසාගේ සංසාරගත හතුරෙක් ලෙසත් වලහා පෙන්වා දිය හැක. කැලෑවේ ඇවිද යන මිනිසෙක් වලහෙක් ගේ ඇස ගැටුණු විට ඔහුට නොදැනෙන්න පසුපසින් පැමිණෙන වළහා පහර දීමට සුදුසු ස්ථානයට පැමිණි විට උපරිම වෙර වීරිය යොදා මිනිසාගේ ඇඟට පනියි. ඔහුගේ ඉලක්කය මිනිසාව බිම පෙරළා ගැනීමයි. වලහාගේ පිම්ම සාර්ථක වීම මිනිසාගේ අවසානය විය හැක. වලහාගේ පහරදීම එතරම්ම කෲර යි. මාරාන්තිකයි. මිනිසාගේ මුහුණ ඉලක්ක කරගෙන පහර දෙන හෝ සපා කන වලහ තියුණු නියපොතුවලින් මස් ඉරා ඔලුව දරුණු ලෙස සපා කති. ගෙල ප්‍රදේශය පපු ප්‍රදේශයත් තියුණු නියපොතු වලින් ඉරා මස් වැදිලි බවට පත් කරති.

වලස් පහරදීමකට ගොදුරුව මරණයෙන් ගැලවී සිටින කෙනෙක් වේ නම් වලස් පහරදීමෙන් ඇති වූ තුවාල කැලැල් සදාකාලික වූ සටහන් බවට පත්වන පත් වන බව නිසැකයි. එවැනි ධෛර්යවන්ත පුද්ගලයෙක් ලෙස මනතුංග පෙන්වා දෙන්නට පුළුවන්. මනතුංගගේ මුහුණේ මෙන්ම එක් කකුලක තියෙන තුවාල කැලැල් ද ජීවිතයට මැකී නොයන බව නම් පැහැදිලියි. එමෙන්ම බොහෝ විට මිනිසුන් වලසුන්ගේ පහර දීමට ලක් වන්නේ බැද්දේ බඳින මී වද කැඩිමට යෑමේ දී මෙන්ම ගල්ලෙන්වල බැඳ තිබෙන වැහිලිහිණි කූඩු කැඩීමට උත්සාහ දැරීමේදී. මනතුංගට වැලහින්න පහර දී තිබෙන ගල්ලෙන තුළ ද වැහිළිහිණි කූඩුවක් තිබී ඇති බවත් එම ලෙන වලස් පවුලෙ නිවහන බවත් කෝල්කැටිය ප්‍රදේශවාසීහු කියයි. තමන්ට සිදු වූ සිදුවීම මනතුංග මෙසේ සදහන් කලා.

“ඒ සිද්ධිය මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා. එදා මම තවත් කොල්ලෝ දෙන්නෙක් එක්ක උදේ පාන්දරම බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයට ගියා. හැතැප්ම ගානක් කෙලින් කන්ද නගින්න ඕනෑ. ඒ වගේම උදේට හරිම සීතලයි. සිල් ගන්න යන ඇත්තොත් එක්ක කන්ද නැගලා සේනාසනයට ගිහින් සුද්ධ පවිත්‍ර කරලා දවල් එකට විතර අපි තුන්දෙනා පල්ලම් බහින්න පටන් ගත්තා. ගල් පඩිපෙළ බැහැලා ඇවිත් ගල්ලෙනක් ළඟ නතර වුණා. මහන්සියට ගල් පොත්තට බර තියන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ.

වහං වෙලා හිටිය වලස්සු දෙන්නෙක් කෑගහගෙන මගේ ඇඟට පැන්නා. ගල උඩ හිටිය වැලහින්න කෙලින්ම මගේ මූණට පැන්නා. දත් වලින් අල්ලගෙන ගල උඩ මාව උස්සනකොට කම්මුලේ මස් ඉරිලා කඩාගෙන වැටුණා. හක්ක කැඩිලා දත් ඇන්ද බිමට වැටුණා. මර ලතෝනි දීගෙන හිටි තැනම මම ඉඳගත්තා. මගේ පිටිපස හිටිය කොල්ලෝ දෙන්නා දුවලා ගස් දෙකකට නැගලා තිබුණා. මගේ කෑ ගැහිල්ලට වලස්සු දිව්වා. මූණ පුරා ලේ බේරෙනව මට දැනුනා. මූණ අල්ලගෙනම මම හිතට හයිය අරගෙන නැගිටින කොටම පඳුරකට මුවා වෙලා හිටිය වැලහින්න ආයෙමත් ඇඟට පැන්නා. ඒ වතාවේ ඌට අහුවුණේ මගේ දකුණු කකුල.

එහෙම්මම මාව පහළට ඇදගෙන ගියා. මම පොඩි ගහක් අල්ලගත්තා. වැලහින්න ඇදපු පාරට ගහ ඉදිරිලා මාව පහලට ගියා. ටික දුරක් පහළට ඇද ගෙන යන කොට අනිත් කකුලෙන් වැරෙන් මම ඇන්නා. මරු විකල්ලෙන් ගහපු පාර ඌට සැරට වැදුනා. කෑගහගෙන කැලේට දුවපු වැලහින්න මොහොතකින් ඇවිත් ආයෙමත් ඇඟට පැන්නා. විශාල වැලහින්නක් නිසා උගේ බරට නැවත මාව බිමට වැටුණා. අතට අහු උනු ගල් ගෙඩියක් අරගෙන උගේ ඔළුවට ඇනගෙන ඇනගෙන ගියා. ලේ පෙරාගෙන අහකට පැන්න වැලහින්න නැගිටින්න හදනකොට ආයෙමත් ඇඟට පැන්නා. මුළු ඇඟේම වීරිය දාලා උගේ යටිතල අල්ලගෙන බිම ගැහුවා. ඒ විදිහට වැලහින්න පස් වතාවක් මගේ ඇඟට පැන්නා. අන්තිම වතාවේ තිරිවාන ගල් කෑල්ලක් මගේ අතට අහුවුනා. ඒ ගලෙන් උගේ කන් අඩියට ඇන්නා. කැලෑව දෙවනක් වෙන්න කෑ ගහගෙන දිව්වා. ගල අල්ලගෙන අමාරුවෙන් හිට ගන්න කොට වලස් පැටව් දෙන්නා මගේ පිටිපස්සේ. චූටි පැටව් දෙන්නා දත් වත් නැහැ. ආවේගයෙන් ගහපු පා පාරට උන් දෙන්නව ගිහින් ගලෙන් පහළට වැටුණා.

පැටවු දෙන්න හිටිය නිසා තමයි වැලහින්න පැන පැන මාව කෑවෙ. පැටව් දෙන්නා තව හිටියනං වැලහින්න නැවත මට පනිනවා. පැයකට වැඩි කාලයක් වැලහින්න එක්ක පොරබැදුවා. මාව මරලා ලෙන ඇතුලට ඇදගෙන යන්නයි හැදුවේ. කකුලෙන් ඇදගෙන ඇවිත් තිබුනෙත් ලෙන පැත්තට. එදා මම බේරුනේ හිතේ හයියටමයි. ගමේ මිනිස්සු ඇවිත් මාව කන්දෙන් පහළට ගේන කොට හවස 6 විතර වෙලා තිබුනා. ආරණ්‍ය සේනාසනයේ හාමුදුරු දෙනමක් වැඩම කරලා මට පිරිත් කිව්වා. තුවාලවලින් ලේ ගිහින් අන්තිමට බේරුනේ වතුර. එතකොටත් මට සිහිය තිබුණා. ඇම්බියුලන්ස් එක ඇවිත් සිරිගල ඉස්පිරිතාලෙට අරගෙන යනවා මට මතකයි. සිරි ගල ඉස්පිරිතාලෙදි මගේ තුවාලවලට පාස්ටර් ගහලා පහුවදා උදේ පාන්දර බදුල්ල මහ රෝහලට යැව්වා. හරියටම මාසයක් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ගත්තා. වැලහින්න දත් ගහපු කම්මුලේ ඇටකටු ව නෑ. කටේ එක දතක් වත් නැහැ. ඇහැ බේරිලා තිබුණේ නූලෙන්. ඒ වගේම වැලහින්න දත් ගහපු කකුලේ නියපොතු ආවේ මාස තුනකට පස්සෙ. වැලහින්නගේ එක් දතක් දඹර ඇඟිල්ල විතර දිගයි.උල් කටුවක් වගේ තියුණුයි. ඒ වගේ දත් හතරක් උන්ගෙ කටේ තියනවා. යකඩ හපන්න තරම් ඒ දත් ශක්තිමත්.”

එදා මනතුංග එක්ක ගියපු අනිත් කොල්ලො දෙන්නා කෑ ගැහුවට වචන පිට නොවෙන තරමට බය වෙලා. කොහොම හරි ආරංචිය ගිහින් මනතුංග වැටිලා හිටිය තැනට ගමේ අය එනකම් මේ කොල්ලො දෙන්නා ගස්වලින් බැස්සෙ නැහැ. ඒ දෙන්නගෙ බය අරින්න සති දෙකක් එක දිගට මතුරන්න වෙලා තිබුණා. නොදන්න කෙනෙක් වලහාගේ කෑගැහිල්ලට ම බය වෙනවා. ඒ වගේම වලහෙක් කෑගහන්නෙ ගොදුරකට පනින්න බලාගෙනමයි. ඒ අනතුරෙන් පස්සේ තවම කඳු නගින්න අමාරුයි. ඒ වාගේම ඔහුට එක දිගට වැඩ කරන කොට කකුල ඉදිමෙනවා. ජීවත් වෙන්න රස්සාවක් කරන්නම වෙලා තියෙන නිසා සතියකට දෙතුන් දවසක් කුලියක් කර ගන්නවා.

දෑතේ ශක්තියෙන් කීයක් හරි උපයා නොගන්න මනතුංගට වෙනත් සරණක් නැහැ. ඔහු ජීවත් වන්නේ පිට පලු වලින් ටකරන් කෑලි වලින් අහුරන ලද පොල් අතු පැල කයි. උයාගෙන කෑමට හැළි වළං දෙකක් හැරෙන්නට ඒ පැල්පත තුළ වෙනත් කිසිවක් නැහැ. කුලියක් කර ගැනීමට හෝ ආර්ථික පසුබිමක් නැති ග්‍රාමීය පරිසරයක ජීවත්වන මේ මිනිසුන්ට පණ නල රැක ගැනීම උදෙසා කැලය ජීවනෝපාය කර ගන්නවා හැරෙන්නට වෙනත් මගක් නැහැ.එහෙත් මේ වදයක් යනු නිවසකි. සාමූහිකත්වයේ මියුරු රස පිරුණු පුංචි කැදැල්ලකි. එකමුතුකමින් ගොඩනගාගත් ඒ නිවස කඩා බිඳ දැමීම පාපයක් බව දැන හෝ නොදැන මේ මී වද කඩා රැස්කරගන්නා කුසලකර්ම ඔවුන්ට මඟ දමා යෑමට නොහැකි බවද සැබෑය.

එමෙන්ම මනතුංගට සිදුවී ඇති අනතුරු දකින විට අපට හැඟෙන්නේ මෙපමණකි. අදටත් මනතුංග ජීවත් වන්නේ හිතේ හයියට සහ පූරුවේ වාසනාව ටයි. එසේ නොවෙන්න මනතුංගගේ දිවි අහිමි වන්නේ වැලහින්නගේ පහරදීමට නොව කාලකන්නි වැලි ටිපර් කාරයෙක් ඔහුව යට කරගෙන ගිය දවසෙයි.

Leave a Comment