local news

‘අපි හතර දෙනෙක් ආවා. කට්ටිය මාව විසි කරන්න හැදුවා’ ප්‍රියන්ත කුමාර මහතා බේරගන්න හැදූ මලික් අද්නාන්

පාකිස්තානයේ සියල්කොට්හිදී මිලේච්ඡ අන්තවාදී ප්‍රහාරයක් හමුවේ ජීවිතය අහිමි වූ ප්‍රියන්ත කුමාර දියවඩන ගේ මහතාගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී ගෞරවයෙන් සිදු කරනු ලැබුවා. කඩවත ගනේමුල්ල නිවසේ තැන්පත් කරන ඡායාරූපයක් සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කරමින්, මලික් අද්නාන් තම ශෝකය පළකර සටහන් කර තිබුණා.

එම වැකිය සහ මලික් අද්නාන් අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබදතාවයක්. සාහසිකයින් පිරිසක් ප්‍රියන්ත කුමාර වටකරගෙන පහර දෙද්දී තනි මලික් අද්නාන් එම ප්‍රහාරයන්ට එරෙහිව ඔහුට කළ හැකි සියලු ප්‍රතිවිරෝධතාවන් දක්වනවා. ඒ පිලිබදව අපි කොයි කවුරුත් සමාජ මාධ්‍ය තුළින් දැකගත්තා. ඒ කෙසේ වෙතත් එම ප්‍රතිවිරෝධය මෙම උමතු අන්තවාදීන්ගේ සැහැසිකම් නවතාලන්නට ප්‍රමාණවත් වූයේ නැහැ. සිය ජීවිතය අනතුරේ හෙළමින්, තවකෙකුගේ හුස්ම පොද රැකගන්නට අද්නන් කළ සටන තවත් සුළු වේලාවකින් ලොව පුරා පැතිර යනවා. නොමිනිසුන් අතර සිය මිනිසත්කම විදහා දැක්වූ මේ පකිස්තානුවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව නෙත ගැටෙන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඔහුට පාකිස්තාන පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානය වන තම්හා ඊ සුජාත් හෙවත් ‘මම සුජාත පාකිස්ථානුවෙක්’ යන සම්මානය පිරිනැමීමට තීරණය කරනවා. ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රියන්ත කුමාර ගේ ඡායාරූපයක් පළ කරමින් තවමත් පසුතැවෙන්නේ ඒ ළතෙත් ශ්‍රේෂ්ඨ පාකිස්තානුවයි.

ඉතින් මෙම සිදුවීම සිදු වූ ආකාරය පිළිබඳව මලික් අද්නාන් මෙහෙමයි සදහන් කලේ.

“මැර පිරිස මාවත් වහලෙන් විසි කිරීමට උත්සහ කලා. මං වාද කරා. පස්සේ අනුකම්පාවෙන් ආයාචනා කළා. ඒත් මට කවුරුවත් ඇහුම්නන් දුන්නෙ නැහැ. අවසානයේ බිය සහ මිලේච්ඡත්වය හමුවේ මං අසරණ වුණා. ප්‍රියන්ත මහත්තයා හොද නායකයෙක්.ඒ වගේම ඔහු ඉතා දක්ෂ පුද්ගලයෙක්. ඔහු රැකියාව පිලිබදව දැඩි ආකල්පයක් දැරුවා. ඒක නොකිය බැහැ. මේ ප්‍රශ්නය වුණත් වෙන විදියකට විසදගන්න තිබ්බා. ඒත් ඒක අවාසනාවක් වුණා. ප්‍රියන්ත මහත්තයා කාටහරි බැනපු බව දැනගත්තු වෙලාවේ මම රැස්වීම් ශාලාවේ හිටියා. ඊට පස්සේ කට්ටිය උඩතට්ටුවට ආවා.”

මලික් අද්නාන් පැවසූවේ ප්‍රියන්ත කුමාර බේරා ගැනීමට තමා ඇතුළු තවත් හතර දෙනෙක් උපරිම උත්සහයක් ගත් බවත් ඒ අතරතුර මරණ බිය සිතට නොපැමිණි බවත් කෙසේ හෝ ඔහුගේ ජීවිතය බේරගෙන මිනිස්කම වෙනුවෙන් සටන් කළ බවයි. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වූ නිසා රටේ කීර්ති නාමයට කැළලක් වූ අයුරු ගැන කණගාටුවෙන් සිටින බවද මලික් අද්නාන් පැවසුවා. ඉතින් මලික් අද්නාන් නමැති මෙවැනි ශේෂ්ඨ මිනිසුන් තවත් මේ ලොවෙහි පහළ වේවා.

Leave a Comment