local news

‘මාමණ්ඩි බය වුණා කියලා නූලක් දමන්න කිව්වා’ බෑනෙක් කියපු අමුතු කතාව

අද කාලයේ වන සතුන්ගෙන් මිනිසුන්ට බොහෝ කරදර සිදු වෙනවා. ඒ ඔවුන් ගම් වලට ඇතුළු වෙන නිසයි. මෙය ඉතා කනගාටු දායක දෙයක්. වන අලි තර්ජනයෙන් පීඩා විදින මිනිස්සුත් අපේ ලංකාවේ ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් එක්ක. ඉතින් එවැනි දුක් කරදර විදින්නට මිනිසුන්ට සිදු වෙනවා.

ඒ වාගේම තමන් දුක් මහන්සියෙන් වගා කරගත් බෝග ටික සතුන් විනාශ කරන විට මිනිසුන්ට කොයි තරම් වේදනාවක්ද. එය පිටින් බලන් ඉන්න කෙනාට වඩා දහඩිය වගුරපු මිනිසුන් තමයි වේදනාව දන්නේ. ඌරෝ, ඈයෝ, රිලව් වදුරො නිසා තමන්ගේ දහඩිය මහන්සිය බලාගෙන ඉන්න තැන නැති වෙනව බලන්න ගොවියන්ට සිදු වෙනවා. ඒ වගේම එවැනි සතුන්ගෙන් තම ජීවිත වලට ද හානි පැමිණෙනවා.

එවැනි ඌරෙකුගෙන් මිනිසෙකුට සිදු වු විපතක් පිලිබදවයි මේ. “මාමණ්ඩිය කෑගහනවා ඇහිලා මම යනකොට බිම වැටී සිටි මාමණ්ඩියට ඌරා හොම්බෙන් ගහනවා දැක්කා” යැයි වල් ඌරකුගේ පහරදීම හේතුවෙන් මිය ගිය 66 හැවිරිදි අයෙකුගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සුදුහකුරුගේ චන්ද්‍රසිරි නැමති වයස අවුරුදු 46 හැවිරිදි පුද්ගලයෙකු කියයි.

මෙම සිද්ධියෙන් ජීවිතය අහිමි වුණේ මොරපිටිය, බටහේන පදිංචිකරුවෙකු වූ වික්‍රමාරච්චිගේ දොන් ප්‍රේමරත්න නම් වූ අයෙක්. කළුතර, තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ කළුතර, නාගොඩ මහ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු,

“දිවි අහිමි වුණේ මගේ බිරිදගේ පියායි. ඔහුත් අපිත් පදිංචි ව සිටියේ එක ළග ගෙවල් දෙකකයි. සිද්ධිය වූදා උදේ 6ට විතර මාමණ්ඩිය ඌරෙක් කෑගහනවා කියාගෙන අපේ ගෙදරට ආවා. ඒ කියලා ආපසු ගියා. ටික වේලාවකින් ඔහු බට පදුරට කැත්තෙන් කොටනවා වගේ සද්දයක් ඇහුණා. ඒත් එක්කම මට ගහනවා මට ගහනවා කියමින් කෑ ගහනවා ඇහුණා. මම සද්දය ආ පැත්තට ගියා. මම යද්දි ඔහු බිම වැටිලා හිටියා. ඌරා මාමණ්ඩියට හොම්බෙන් ගහනවා දැක්කා. මාමණ්ඩිගේ කකුල තුවාල වෙලා තිබුණා. මම ඒ තුවාල රෙදි පටිවලින් බැද ගෙදරට එක්ක ගියා. ඔහු රෝහලට යෑමට කැමති වුණේ නෑ. පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් දමා ගෙන ආවා. මාමන්ඩි බය උනා කියල නූලක් දමන්න කිව්වා. නූල දමන්න ආව වෙලාවේ හිටපු අය ඔහු රෝහලට ඇතුළු කරන්න කිව්වා. මම තුන් වෙනි දා රාත්‍රියේ නවයට විතර මාමණ්ඩි ව රෝහලට ගෙනාවා. ඒ වනවිටත් ඔහු ජීවිතයෙන් සමු ගෙනයි තිබුනේ.”

මෙහි දී ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. එස් අත්තනායක මහතා ඉදිරිපත් කළ වාර්තාව අනුව මෙය ඌරෙකුගේ පහරදීමකින් වූ තුවාලයෙන් විෂබීජයක් ශරීරගත වී සිදු වූ මරණයක් බවට මරණ පරීක්ෂකවරයා නිගමනය කළා.

Leave a Comment