local news

ගමම හඬවමින් සැඩ පහරට ගසාගෙන ගිය එප්පාවල කිරිකැටියා

දරුවන් යනු දෙමාපියන්ට මැණිකක් සේය. තම දරුවන් විවිධ අවධීන් පසු කරන විට මවක් ඒ දෙස බලා සිටින්නේ මලක් පූදිනවා බලා ඉන්නාක් මෙනි. දෙමව්පියන් සෙවනේ හැදෙන වැඩෙන දරුවන් කාලයත් සමග කරදඬු උස් මහත් වෙන්නේ කාලයාගේ ඇවෑමෙන් ය. දඟකාර කෙළිලොල් වියේ පසු වන විට ඔවුන් පසු පසින් ම සිට ගුරු හරු කම් ලබා දිය යුතුයි. එසේම පසු පසින් සිට ආරක්ෂා කල යුතුයි.
වැසි කාලයේ සියලු ගම්නියම්වල ඇළ දොළවල් ජලයෙන් පිරී ඉතිරී තිබේ. එවැන්නක දී සියලු මාධ්‍ය වල පවා කියන්නේ එවැනි ස්ථාන වලට යාමෙන් වළකින ලෙසයි. ඉතින් ලොකු කුඩා කවුරුත් මේ පිලිබදවනම් සැලකිලිමත් විය යුතු මයි.

විනෝද චාරිකා යන අයටත්, එසේම ධීවරයින්ටත් ජලයෙන් ආරක්ෂා වෙන්නට කියන්නේ මෙහි ඇති බියකරු කම නිසාවෙනි.
මේ කියන්න යන්නේ ඉතා අවාසනාවන්ත සිදුවීමක්. එප්පාවල සේනපුර ප්‍රදේශයේ අංක 48 යාය හතර පදිංචි අවුරුදු එකයි මාස හතරක් වයසැති භාග්‍ය දහම් සත්සර රාජපක්ෂ බිලිඳාට සිදු වූ අවාසනාවන්ත ඉරණමකි.

මොවුන්ගේ නිවසෙහි ඉදිරියේ කුඹුරු වලට ගලා යන කුඩා ඇළ මාර්ගයක් විය. අධික වර්ෂාව සහිත කාලවල දී එය ජලයෙන් පිරී තිබේ. පසුගිය විසි හතර වැනි දින ද මේ ප්‍රදේශයට අධික වර්ෂාව සහිත දවසක්.
පුංචි දහම් මෙදින තම අට හැවිරිදි සහෝදරයා සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. ටික වේලාවකින් මොහු නිවස ඉදිරිපිටින් ගලා යන ඇල දෙසට දිව ගියා. එවිට සිදු වූයේ කවුරුත් බලාපොරොත්තු නොවන දෙයකි. පුංචි දහම් මේ ඇල මාර්ගයේ ඇති විශාල ජල පහරට හසු වී මීටර් විස්සක් පමණ ප්‍රමාණයක් ගසා ගෙන ගොස් ඇති බවයි.

නිවස තුල සිටි දෙමාපියන් දහම් නිවසේ නැති බව දැනගත් විගස ඔහු සෙවීමට සූදානම් වුණා. නිවස තුලත් පිටත් විමසා බැලූ දහම් ගේ දෙමාපියන් ඉදිරියෙන් යන ඇළ මාර්ගය පරීක්ෂා කර බැලුවා.

එවිට ඔවුන්ට දැක ගන්න ලැබුණේ ඔවුන් කිසිදාක බලාපොරොත්තු නොවූ දෙයක් . ඇළ හරහා වැටී තිබුණු කෙසෙල් කොටයක තම පුංචි පුතු දහම් රැඳී ඇති තිබෙන අයුරුයි.

ඉන් පසු වහ වහා තම පුතු සේනපුර ප්‍රාදේශීය රෝහලට ගෙන ගිය අතර එතැනින් කැකිරාව මූලික රෝහලටත් ඉන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණි.
අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින කීපයක් ගත කළ පුංචි දහම් පසුව ජීවිතයෙන් සමු ගත්තේ කෙදිනක හෝ නො සිතූ අයුරිනි.
මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කේ. කරුණාතිලක මහතා විසින් සිදුකර තිබූ අතර දරුවාගේ ශරීරයෙ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන මෙන් නියෝග කර තිබේ.

මෙවන් වූ පුංචි මල් කැකුළු අකාලයේ මිලිණ වන්නට ඉඩ නො තියා ඔවුන් ව පණ මෙන් ආරක්ෂා කරගැනීම දෙමාපියන්ගේ වගකීමයි. දෙමාපියන්ගේ ප්‍රථම රාජකාරිය තම දරුවන් පණ මෙන් ආරක්ෂා කිරීමයි. හය අතරක් නො තේරෙන මේ පුංචි දහම් කවදාවත් මෙලෙසින් ජීවිතයෙන් සමුගන්නටනම් සිතන්නට නැතුව ඇති. ඉතින් මෙය පාඩමක් සේ සලකා තම දරුවන් ඇස් දෙක මෙන් ආරක්ෂා කර ගනිමු.

Leave a Comment