local news

පෙළ පොත තුළ තිබී හමුවූ රුපියල් විසිදහස දුන් දැරිය පියාගේ දෑස් පාදයි

මේ කියන්න යන්නේ හරි අපූරු කතාවක්. ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දීප්ති සුභාෂිණී දියණිය සිදුකරන ලද අවංක ක්‍රියාවක්.
ඇයට අලුත් වසර සඳහා පාසලෙන් ලැබුණු පෙළපොත් වල පිටු අතරේ තිබී හමුවූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු හතරක් එසේත් නැතිනම් රුපියල් විසි දහසක් ඇය ඒ මොහොතේ ම තම පන්ති භාර ගුරුතුමිය වෙත ලබා දුන්නේ ඉතාමත් නිර්ලෝභී වයි.
මේ පිළිබඳ දැනගත් විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයත් සුභාෂිණී කෙරෙහි දැඩි සතුටට පත්ව ඇයව අගය කිරීමක් ලෙස ඉරිදා ලංකාදීප පුවත්පතට මෙම තොරතුර ලබා දුන්නේ අනෙක් සිසු ප්‍රජාවට ම මහඟු ආදර්ශයක් ලබා දීමටයි.
ඒ තුලින් පසුගිය පෙබරවාරි මස 7 වැනි දින දීප්ති සුභාෂිණී දියණිය පිළිබඳ ව මුළු රටක් ම දැන ගත්තා. ඇයගේ පවුල පිලිබදව විමසා බැලුවා. එහි දී දැකගන්නට ලැබුණේ ඉතාමත් කුඩා කටු මැටි නිවසක ඔවුන් ජීවත් වන බවයි. නිවසෙහි උපකරණ ද නොමැතිව ඉතා දුක්ඛිත අයුරින් තමයි ඔවුන් ජීවත් වෙලා තියෙන්නේ.

එහි දී තවදුරටත් දැකගන්නට හැකි වූයේ ඇගේ පියා පිලිබදවයි. අජිත් වසන්ත මහතා වයස අවුරුදු 50 ක පුද්ගලයෙක්. මීට වසර 11කට පෙර ගසක් කැපීමට ගිය අවස්ථාවක දී ඒ ගසෙන් කිරි වෑහී ඇසට ඉසී ඔහුගේ දෑස් සියයට අනූවකටත් වඩා නො පෙනී ගියා. එබැවින් හරිහැටි රැකියාවක් කරගැනීමට නො හැකි වුණු වසන්ත බිරිඳ කියා දුන් ගීත ගයා ලැබෙන ඉතා කුඩා මුදලින් ඔහුගේ දරු පවුල රැක ගත්තා.

එසේ ඉතා අසීරු ජීවිතයක් ගත කරන මේ දීප්ති සුභාෂිණී දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා ජීවිතය ගැට ගහ ගත්තෙ බොහෝ දුක් කම් කටොලු මධ්‍යයේයි.

දෑස් නොපෙනෙන මේ පියා කෙතරම් අසීරු තා තිබුනත් ගුණ යහපත් කමින් සීයට සීයක් ම හෙබි දරුවන් රටට දායාද කල අයෙකි. බොහෝ පුද්ගලයන් ආර්ථිකය හිඟ වීමත් සමඟම හොර මැර වංචා ආදියට පෙලඹෙයි. නමුත් කොතරම් අඩුපාඩු තිබුණත් සාධාරණව අවංක කමින් ජීවත් වන මෙවැනි මිනිසුන් ද අද සමාජයේ දක්නට ලැබේ.

මෙම පුවත ඉරිදා ලංකාදීපයේ පළවීමත් සමගම රටේ ඉතා ඉහළ බලධාරීන් සමගම විවිධ දානපතීන් රැසක් මේ පවුල පිළිබඳ ව දෑස් යොමු කරන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මොවුන්ට නව නිවසක් ද එසේම වසර එකොළහකට පෙර පෙනෙමින් තිබූ දීප්ති ගේ පියාගේ දෙ ඇස් නැවත විවර කරවන්නට හැකි විය. එය සිදු වූයේ නිතැතින් ම තම දියණිය සිදු කල උතුම් ක්‍රියාව නිසයි.
එක් වේලකින් බඩගින්න නිවා ගනිමින් කුස ගින්නේ අධ්‍යාපනය ලබන දීප්ති වටිනා මුදල් නෝට්ටු හමුවේ තම කුස ගින්න පාවා නොදී නිර්ලෝභී ව මෙම මුදල් ගුරුතුමියට ලබා දීම පිළිබඳ ව ඇය කොතෙකුත් ආදර්ශ සම්පන්න දරුවෙක්ද.

දීප්ති වැනි දරුවන් අපේ ලංකාව තුල සිටීම පිලිබදව අපි බෙහෙවින් සතුටු විය යුතුයි. ඒ මන්ද ඇයගේ උතුම් ක්‍රියාව දරුවන්ට පමණක් නොවේ මුලු මහත් ලොකු කුඩා සැවොම ආදර්ශයට ගත යුතු දෙයකි. තමන්ගේ පියාගේ දෑස් විවරකරගන්නට හැකි වූයේ ඇයගේ මේ උතුම් ක්‍රියාව නිසා බැව් දන්නා මේ තාත්තා කොයි තරම්නම් තමගේ දුව පිලිබදව ආඩම්බරද. එබැවින් මෙවැනි දරුවන් මේ ලොවෙහි තවත් පහල වේවා!

Leave a Comment