local news

සිරස ලක්ෂපති වැඩසටහනට ආ බ්‍රයන් ජීවිතය දිනූ හැටි

අධ්‍යාපනය කියන්නේ කුඩා කල සිටම දරුවන් නියැලෙන දෙයක්. ඒ වගේම ඉදිරියට ම යා හැකි මාර්ගයක්. මේ සමාජයේ ඕනෑම දෙයක් කරගැනීමට ඕනෑම තැනක නිවැරදිව ජීවත් වීමටනම් අධ්‍යාපනය අවශ්‍ය ම දෙයකි. මේ කියන්න යන්නේ උනන්දුව හා කැපවීම අතිශයින් ම තිබෙන දරුවෙක් පිළිබඳව.
ඔහු දාසය හැවිරිදි දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක්. නමින් බ්‍රයන් කිංස්ටන්. මට්ටක්කුලියේ ප්‍රදේශයේ ජීවත් වන පවුලක දෙවැනි පුත්‍රයායි. ඔහු අධ්‍යාපනය ලබන්නේ රත්මලාන අන්ධ විද්‍යාලයේ. එහි බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය හදාරන ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගෙන අන්ධ විද්‍යාලයේ ඉතිහාසය වෙනස් කරන්නට ඔහුට හැකියාව ලැබුණා.


ඔහු දෘශ්‍යාබාධිත වූවත් ඔහුගේ උසස් අභිලාෂයත් සාක්ෂාත් කර ගැනීමට ඔහුගේ ආබාධිත භාවය කිසිවිටෙකත් බාධාවක් නොවන බව ඔහු ලෝකයාට අවබෝධ කර දුන්නා. ඔහුට අවශ්‍ය වූයේ මව සතුටු කිරීමට සහ ආඩම්බර වීමට කටයුතු සැලැස්වීමයි. එබැවින් ඔහු උපරිම උත්සාහයක් දරනවා.

බ්‍රයන් පවසන ආකාරයට ඔහුගේ උපදේශකයා ලෙස ඔහුගේ ලොකු ම ශක්තිය වන්නේ මවයි. එසේම සෑම පියවරක දීම ඔහුගේ මව මග පෙන්වූ අතර ඇය බ්‍රයන් කෙරෙහි තැබූ විශ්වාසය බ්‍රයන්ගේ සිහින සැබෑ කර ගැනීමටත් මව මිහිපිට සිටින ප්‍රීතිමත් ම මව බවට පත් කිරීමටත් ඔහුට ශක්තිය ලබා දී තිබෙනවා.

බ්‍රයන් කිංස්ටන් කියන්නේ මේ ලෝකෙ අසිරිය විඳින්නට අවස්ථාව නො ලැබුණු දරුවෙක්. ඔහු කිසි දිනක ඔහුගේ මුළු පාසල් ජීවිතය පුරාවටම අමතර පන්ති වලට සහභාගි වී නෑ. ඉතින් පාසලේ අධ්‍යාපන ක්‍රමවේදය තුළින් මයි ඔහු මෙවැනි සාමාර්ථයක් ලබා ගත්තේ. ඉතින් මේ බ්‍රයන් කිංස්ටන්ගේ අනාගත බලාපොරොත්තුව වන්නේ කලා වෘත්තියක් කර ගෙන නීතිඥයකු වීමටයි.

මේ කතාව අසන අපට සිතෙන්නේ මෙලොවෙහි කිසිම කෙනෙක්ට බැරි දෙයක් නැති බවයි. එබැවින් උනන්දුව සහ කැප කිරීම තමයි ප්‍රධානතම දේ. බ්‍රයන් කිංස්ටන් ව ආදර්ශයට රැගෙන ඔබත් උනන්දුවෙන් කැපවීමෙන් අනාගතය සාක්ෂාත් කරගන්න.

Leave a Comment