local news

වැටෙන් එහා තහනම් මලක් කෙහෙවලු පටලා ගනියි

දෙදෙනෙක් පවුල් ජීවිතයක් ආරම්භ කරන්නේ තුන් වැන්නෙක් බලාපොරොත්තුවෙන් නොවේ. සාර්ථක පවුල් ජීවිතයකට ඉවසීම වැදගත් දෙයක්. ඒ වගේම සැමියා වෙනත් ස්ත්‍රීන් සමගත් බිරිද වෙනත් පුරුෂයන් සමගත් හාද වීම පවුල් සංස්ථාවක අනිවාරෙන්ම නොතිබිය යුතු දෙයක්. එවැනි පවුල් අද කාලයේ බෙහෙවින් දැක ගන්නට තිබෙනවා. එයට හේතුව වර්ථමාන සමාජය පිරිහුණු සමාජයක් විමයි.

ඉතින් මේ කියන්න යන්නේ දෙමාපියන්ගේ අහිතකර ක්‍රියාවන් නිසා දුක් විදින අහිංසක දරුවන් සිටින පවුලක්. කිසිම වරදක් නොකර ජීවිතයෙන් වන්දි ගෙවන්නේ අහිංසක දරුවන්.
අවුරුදු 35ක් වයසැති කාන්තාව අවුරුදු 36ක් වයසැති ස්වාමියා සමගින් පවුල් ජීවිතයක් ගත කලා. නිත්‍යානුකූල විවාහයකින් විවාහ දිවියට පත් වූ මොවුන් දෙදෙනාට අවුරුදු තුනක් හා දහයක් වයසැති දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වීමට වාසනාවන්ත වූවා. කාලය ගත වුණා. මෙම දෙදරු පියා 36 වියේ පසුවන කාන්තාවක් සමගින් අනියම් සබදතාවයක් පටන් ගෙන තිබුණා. මිනුවන්ගොඩ හොරම්පැල්ල තල්ගහවෙල ප්‍රදේශයෙන් මීට මාස එකහමාරකට පමණ පෙර නිවසක් කුලියට ගෙන ඇති අතර සැමියා අනියම් කාන්තාව සමගින් පවුල් ජීවිතයක් ගත කර තිබුණා.

මෙය දැනගත් නීත්‍යානුකූල බිරිද තම සැමියා සොයා තල්ගහවෙල ප්‍රදේශයේ නිවසට පැමිණ තිබුණා. සැමියා නිවසේ නොසිට ඇති අතර කාන්තාවන් දෙදෙනා අතර ඇති වූ ආරවුලේදී නීත්‍යානුකූල බිරිද තම සැමියාගේ අනියම් බිරිදට මෙසේ පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
තම අනියම් සැමියාගේ නීත්‍යානුකූල බිරිය නිවසට පැමිණ පහරදී ගෙල බැදි රන්මාලය සහ අත් පළඳනාව පැහැරගෙන ගිය බවට පහරකෑමට ලක්වූ කාන්තාව පැමිණිලි කර ඇති බව පොලිසිය පවසයි. පවුල් ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා. අත්අඩංගුවට පත් කාන්තාව සහ ඇය එම නිවසට ගිය ත්‍රීවිල් රථයේ රියදුරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment