local news

මවගේ අක්මාවේ කොටසකින් යළි ජීවත්වීමේ වරම් ලද පුතෙක්

දරු සෙනෙහස කියන්නේ හරි අපූරු දෙයක්. එය හරි නිර්ව්‍යාජ දෙයක්. අම්මෙකුට තමන්ගේ දරුවා මහමෙරක් තරම් වටිනවා. ඒ ආදරේ වචනෙන් කියගන්නත් බෑ. දස මාසයක් කුසේ තියාගෙන හදන අම්මා අම්මගේ හුස්ම පොද යනකම්ම තමන්ගේ දරුවන් වෙනුවෙනුයි ජීවත් වෙන්නේ.

මේ කියන්න යන්නෙත් ඒ වගේ අම්මෙකුගේ ආදරණීය කතාවක්. ඇළහැර බකමූණ ප්‍රදේශයේ තිස් හත් හැවිරිදි මවකගේ දරු සෙනෙහස ගැන අපිට දැනගන්නට ලැබුණා. ඇය පනමෙන් හදා වඩා උස් මහත් කර පහළොස් හැවිරිදි තම පුතුට රෝගයක් ඇති බව වෛද්‍යවරුන්ගෙන් දැනගන්නට ලැබුණා. ඒ කලක සිට පැවති සිරුර කහ වීමේ රෝගය හා උදරය පිම්බීම වැනි රෝග ලක්ෂණයන් ඇතිවීම නිසයි.

බකමූණ රජයේ රෝහලේ වෛද්‍යවරු මෙම දරුවා ව පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කළා. එහි දී දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් පැවසූයේ ඉතා ඉක්මනින් දරුවාට ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවයි. මාසයක පමණ කාලයක් දරුවා ව පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහුගේ අක්මාව ද පරීක්ෂාවට ලක් කළා. එහි ඇති දුර්වලතාවයන් නිසා ඔහුට අක්මාවේ කොටසක් බද්ධ කළ යුතු බව ඔවුන් තීරණය කළා.

මහා මේරු පර්වතයක් වැනි 37 හැවිරිදි මව ගේ අක්මාවේ වම් පෙදෙසේ කොටසක් දරුවාට බද්ධ කළ හැකි බව තහවුරු කර ගත්තා. මීට පෙර මෙවැනි ශල්‍යකර්මයක් සිදු කර ඇත්තේ රාගම ශික්ෂණ රෝහලේ දී බව දැනගන්නට ලැබුණා. පෞද්ගලික රෝහලක මෙවැනි ශල්‍යකර්මයක් සිදු කිරීමට රුපියල් ලක්ෂ 100ක මුදලක් වැය වන අතර මෙම සුවිශේෂී ශල්‍යකර්මය රජයේ රෝහලකින් සිදු කිරීමට හැකි වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ මහත් ජයග්‍රහණයක් බව වෛද්‍යවරු පැවසුවා.

එලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාගේ පූර්ණ සහය ලබා ගනිමින් අනෙකුත් සෙසු කණ්ඩායම ඇතුළුව තිස් දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් මෙම ශල්‍යකර්මය සඳහා දායක වූ අතර එය සාර්ථකව සිදුකර ගැනීමට හැකිවුණා.

සැත්කමෙන් පසුව මෙම මවත් පුතත් නේවාසික ව තම ප්‍රතිකාර නිසියාකාරව ලබා ගැනීමද කලයුතුබව මෙහිදී වෛද්‍යවරු පැවසුවා. ඉතින් එලෙස තම මවගේ අක්මාවෙන් කොටසක් ගෙන ජීවත් වන මෙම පුතුත් මවත් මේ වන විට යහපත් සෞඛ්‍යය තත්වයකින් පසු වන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් දැනගන්නට ලැබුණා.

තම දරුවා ව කුණු කූඩවල දමා යන ලෝකයේ මෙවැනි මව්වරු මුලු මහත් සමාජයට ම ආඩම්බරයක්. මේ උතුම් මවටත් පුතාටත් නිරෝගී සුවය අපි සැවොම එක සිතින් ප්‍රාර්ථනා කරමු.

Leave a Comment