Lifestyle

“අදටත් මම ආදරය කරනවා. මමත් හොද ආදරවන්තයෙක්” මහාචාර්ය සුනිල් ආරියරත්න

නුගේගොඩ ජීවත්වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ගන්නවා. ඉතින් එතුමන්ගේ ජීවිතයෙන් හරි අඩක් නුගේගොඩ සිට ගෙවුනු බවයි සදහන් කලේ. ඉතින් මේ දක්ෂ ළමයා පාසල් අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාලයට යන්නත් සුදුසුකම් ලබනවා. එලෙස සුදුසුකම් ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට. එහි එතුමන් දකින විදියට වාසනාවක් වගේම අවාසනාවකුත් තියෙනවා. ඔහු කැමති වී තිබුනේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න ඈතකට ගියානම් හොදයි කියල එතුමන් හිතල තිබුනේ.

එතුමන්ගේ මවගේ ගම මහරගම හැරැව්වල. ඉතින් එතුමන් මහරගමට වහින්නෙ නැතුව යනුවෙන් ගීතයක් ලිව්වට එය කිසිම විදියකට මවගේ ගමට සම්බන්ද නැති බව ඔහු සිනා මුසු මුහුණින් යුතුව පැවසුවා. අමල් බිසෝ නාට්‍ය තුලින් නාට්‍ය වලට ඇතිවුණු ඇල්ම ආයේ නැති වුණේ නැහැ. අමල් බිසෝ නාට්‍යයේ පිටපත් ලියුවේ සුනිල් ආරියරත්නයන්ගේ සහෝදරයා විසින් බව එතුමන් සදහන් කලේ.

අලුත් පොතක් නිකුත් කලා. ‘ දෙමළ මහා කවි භාරතී’ කියලා. දෙමළ සාහිත්‍ය රසය පාඨකයාට හඳුන්වාදීමේ උතුම් ජාතික වගකීමක් ලෙසටයි මෙවැනි පොත් මොහු විසින් කරන්නේ. පාඨක පිරිස අඩු වුණත් දමිළ සාහිත්‍ය ගැන දැනගන්න කැමති පිරිස් වෙනුවෙන් මේ වෙනකොට ග්‍රන්ථ කිහිපයක්ම නිර්මාණය කර තිබෙනවා.

එතුමන් ගේ චිත්‍රපටි දෙකක්ම තිරගත කිරීමට සුදුසු කාලයක් පැමිණෙන තෙක් එතුමන් බලා සිටිනවා. මෙතුමන් මෙතෙක් කළ සිනමා නිර්මාණ වගේම නව සිනමා නිර්මාණ දෙකක් වන කදිර දිව්‍ය රාජ සහ ක්ෂීර සාගරය කැළඹිණ කියන චිත්‍රපටි දෙකම ප්‍රේක්ෂකයා ආදරෙන් වැළඳ ගනී කියලා ඔහු විශ්වාස කරනවා. ඒ වගේම සුනිල් ආරියරත්නයන් තමා කරන වැඩේ අවංක උපරිමයෙන් ම කිරීම තමයි ඔහුගේ මූලිකම දේ. ඉතින් පැය කිහිපයකට පටිගත කිරීම් කරන සිනමාපටයක් නිර්මාණය කරන්න වසර ගණනාවක් තොරතුරු සෙවිය යුතුයි. ආගම සංස්කෘතිය ඉතිහාසය ස්පර්ශ කළ යුතුයි. එතුමා හිතන්නේ ප්‍රේක්ෂකයාට නිවැරදි දේ ලබා දිය යුතු නිසා මේ අධ්‍යනය කල යුතුමයි කියා.

ආරම්භයේ දී ගීත රචකයකු ලෙස වඩාත් ජනාදරයට පාත්‍ර වූ සුනිල් ආරියරත්නයන් ඔහුගේ චිත්‍රපටයකට අවශ්‍ය ආකාරයකට ගීතයක් නිර්මාණය කරනවා හැරෙන්නට වසර පහළොවකින් පමණ ඔහු ගීතයක් රචනා කරලා නැහැ. එයට හේතුව දින දින විනාශ වී යන ගීත රචනා කලාවට අර්ථාන්විත දෙයක් කරන්න ඉතිරි වෙලා නැති තරම් විනාශ වෙලා නිසා. එතුමා වඩාත් ජනප්‍රිය වන්නේ කුමන ක්ෂේත්‍රයකින් ද කියලා ඇහුවම මෙහෙමයි ඔහු ප්‍රකාශ කළේ.

” 70 80 දශකවල දී මාගේ ගීත රචනා අති දක්ෂ ප්‍රතිභාසම්පන්න ගායක ගායිකාවන්ගේ හඬින් ගායනා වීමත් සමඟ නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ලැබුණා. ඉන්පසුව සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමග කුසපබා චිත්‍රපටයේ සිට මේ දක්වාම කළ සෑම චිත්‍රපටයක්ම ඉතා කෙටි කාලයකින් මිනිසුන් වැළඳ ගැනීමත් සමග ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රාශියකට පාත්‍ර වීමත් සමඟ නොසිතන ජනප්‍රියත්වයක් ලැබුණා. මහාචාර්යවරයෙකු ලෙස ට විශ්වවිද්‍යාල ජීවිතයෙන් විශ්‍රාම යන තෙක්ම වගේ අදටත් අඩු නොවන ආදරයක් ගෞරවයක් ලබනවා.”

වාසනාව ලැබීම ගැන එතුමන් තරමකට විශ්වාස කරනවා. ඒ වගේම වෘත්තීන් තුනෙන්ම මෙතරම් ජනාදරයක් ලබන්නට ඔහු සතු යම් කිසි හෝ වාසනාවක් තිබෙනවා කියලා එතුමා විශ්වාස කරනවා. උපන් හැකියාවෙන් දක්ෂතාවයන්ගෙන් වැඩ කිරීමෙන් ඕනෑම කෙනෙකුට වාසනාව ලැබීම කියන දේ මතු කරගන්නට පුළුවන් කියලත් එතුමා විශ්වාස කරනවා. කෙටි පණිවිඩයේ, දුරකථන ඇමතුමේ සිට සම්මන්ත්‍රණ, වැඩමුළු, රූපවාහිනී සාකච්ඡා, ගුවන් විදුලි සාකච්ඡා, ගුවන් විදුලි වැඩසටහන්, පුවත්පත් ලිපි යන මේ සියල්ලගෙන්ම දක්වන අගය කිරීම වගේම මග තොටදි හමු වෙලා ප්‍රේක්ෂකයෙක් පාඨකයෙක් මුහුණේ සිනහවකින් දක්වන අගය කිරීමත් හිතට මහා ලොකු අස්වැසිල්ලක් වෙලා තියෙනවා. අදටත් මෙතුමා මගට බැස්සොත් පන්සලකට, පල්ලියකට, කෝවිලකට, කඩපිලකට ගියොත් සර් මම ඔබෙන් ඉගෙනගත්ත ගෝලයෙක් කියලා බොහෝ ඉහළ තනතුරු දරන අය මෙතුමා ඉදිරියට ඇවිත් කතා කරනවා.

විශ්වවිද්‍යාල ජීවිතේ දි ඉහළටම ගොස් මහාචාර්ය වරයෙකු වීම මොහුගේ හිතෙ තිබිච්ච හීනයක් වෙලා තිබුණා. ඒ වගේම වටිනා සිනමා නිර්මාණ කරණයේ දී සිනමාකරුවෙකු ලෙස යම් දිනක ශ්‍රී ලාංකේය කලාවට යමක් කළ යුතුයි කියන සිහිනයත් පුංචි කාලෙම හිතේ තිබිලා තියෙනවා. හදවතට සමීප ගීත රචනය මෙතුමන්ගේ පුංචි කාලෙ ඉඳලම තිබුණු දක්ෂතාවයක්. එහෙම බැලුවහම පුංචි කාලේ ඉඳලම මෙතුමන් දැකපු සිහින තමයි අද මේ සැබෑ වෙලා තියෙන්නේ. එතුමන් ආදරේ ගැන හිතන්නේ මෙහෙමයි.

‘ ආදරේ කියන්නේ සදාකාලික පරම රමණීය දෙයක්. ඒ නිසා වයසක් කාලයක් සීමාවක් නැහැ ආදරය කරන්න. මිය යන තෙක්ම ජීවිතය ජීවත් කරවන්නේ ආදරය. කොටින්ම කිව්වොත් විශ්වයේ පැවැත්ම තීරණය කරලා තියෙන්නෙත් ආදරය. අදටත් මම ආදරේ කරනවා. මමත් හොඳ ආදරවන්තයෙක්.’

ඉතින් තනිකඩයෙක් වන මෙතුමන් ට ජීවිතේට කවදාවත් තනිකමක් දැනිලා නැහැලු. ඒ උදෑසන හතරට අවදි වෙලා රාත්‍රී දහයට නින්දට යනකම්ම කරන්න අර්ථාන්විත වැඩ යෙදෙනවා. කවදාවත් මෙතුමා ඔහුගේ කාලය අනවර්ත වැඩ කරන්න කැමති නැහැ. ඉතින් මෙවැනි දින චරියාවක් නිසා අදටත් එතුමාට ජීවිතේ ගැන කලකිරීමක්, පාළුවක්, තනිකමක් දැනෙන්නේ නැහැ. ඔහුගේ නිර්මාණයකට වත් තනිකම පාළුව කාන්සිය කියන දේ එකතු කරගෙන නැහැ. මොකද අද වෙනකම් ඒ දේවල් මෙතුමන්ගේ ජීවිතේට ගැටළු විදිහට දැනිලා නැති නිසයි.

එතුමන් හරි ආසයි හැමෝම සතුටින් ඉන්නව දකින්න. ඒ නිසා එතුමාටත් හැමදාමත් සතුටින් ඉන්න ලැබෙනවා. ජීවත් වෙන්න ලොකු කාලයක් නැති නිසා මෙතුමාගේ හිතට අවංකවම සතුටින් ජීවත් වෙන්න ඕනේ කියලා නිතරම හිතෙන බවයි ඔහු සඳහන් කළේ. වයස අවුරුදු හැත්තෑ දෙකක් පමණ වන සුනිල් ආරියරත්නයන් හිතන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා. ඉතින් මෙවැනි වයසක් ඇති එතුමා තම නිරෝගිකම ආරක්ෂා කරගන්නට කෑමබීම වලින් නම් ගොඩක් පරිස්සම් වෙනවා. ඒ වගේම සෑම දිනකම විනාඩි 45ක කාලයක් උදෑසන ව්‍යායාම සඳහා කාලය ගත කරනවා. ඉතින් ජීවිතයේ වැඩිපුරම සංවේදී වුණේ මවගේ පියාගේ වෙන් වීමත් එක්ක. ඒ වගේම ජීවිතේ ලොකුම සතුට කියලා අල්ලගෙන නැහැ. මධ්‍යස්ථව සිතන නිසා ඒ සියල්ලම සිදුවීම් විදිහට හිතන්න එතුමන් පුරුදු වෙලා ඉන්නවා.

ඉතින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඉදිරි සිනමා නිර්මාණයන්, ගීත රචනයන් මෙවැනි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා වගේම නිරෝගී ජීවිතයක් ගත කරන්න හැකි වේවායි කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment