Lifestyle

‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ අවුරුදු 51 බුලත් විට සපයා දරුවන් පෝෂණය කල මල්ලි මාමාගේ ජීවිත කතාව

මේ ලෝකයේ ඕනම කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ. ඒ වගේම තමන්ට කියලා අනන්‍ය වූ හැකියාවක් දක්ෂතාවයක් ඕනම කෙනෙක්ට තියෙනවා. ඉතින් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාර වෙනවා. එක් අයෙකුට පුළුවන් දෙය තවත් කෙනෙකුට බැරි වෙනවා. ඉතින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දස්කම් පාන මිනිසුන් අද සමාජයේ සිටින්නේ. සමහරෙක්ට අකුරු සාස්තරේ බැරි උනත් තම ජීවත් වීම සඳහා කිනම් හෝ රැකියාවක් කර ගන්නට හැකි දක්ෂතාවයක් පිහිටා තිබෙනවා. ඉතින් එවැනි දක්ෂතාවයක් තියෙන මල්ලි මාමා ගැනයි මේ කියන්න යන්නේ.

වසර පනස් එකක් සේවකයන් හතර දෙනෙකු සමග දිනකට බුලත් විට දාහක් අලෙවි කරන දෙදරු පියෙක් වත්තල හැඳල හන්දියෙන් වාර්තා වුණා. ඔහු ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ මල්ලි මාමා කියලයි. නමුත් ඔහුගේ නම සිසිල් හපුආරච්චි. ඉතින් ඔහුගේ බුලත්විට ව්‍යාපාරය පිළිබඳව ඔහු කිව්වේ මේ විදියට.

“මම බුලත්විට විකුණන රැකියාව ආරම්භ කළේ 1970 දී. දැන් නම් රැකියාවට වසර පනස් එකක් විතර වෙනවා. මා ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ. ඒ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය තෙක් ඉගෙන ගත්තා. “
ඉතින් ඒ වගේම ඔහුගේ මව පියා සහ සහෝදරියන් දෙදෙනෙකු සමගින් අයියා සමග ජීවත් වූ සිසිල් හපුආරච්චිගේ පියා විල්ප්‍රඩ් හපුආරච්චි වේ. සිසිල් හපුආරච්චිගේ පියා දුම්රිය ස්ථානාධිපති කෙනෙක්. මෙම සිසිල් හපුආරච්චි තමයි පවුලේ බාලයා වෙන්නේ. ඒ කියන්නේ බඩපිස්සා. ඔවුන්ගේ තාත්තා කරපු රැකියාවට අමතරව ඔවුන්ව පෝෂණය කරන්න කුකුළු ගොවිපළක් කෙරුවා.

ඔය අතරේ තමයි මල්ලි මාමට බුලත්විට රැකියාවට හිත යන්නේ. එදා බුලත් බුලත්විට සත පහක් උනාට අද රුපියල් පනහක් හැටක් විතර මිලක් වෙන නිසා මේ රැකියාව ඔහුට හොදින් කරගෙන යන්න පුලුවන්. හැඳල හන්දියේ පුංචි පෙට්ටි කඩයක බුලත් විට විකුණන ඔහු යටතේ සේවකයන් අට දෙනෙකු සේවය කලා. දැනට ඔහු යටතේ සේවය කරන්නේ සේවකයින් 4 දෙනෙක් පමණි. අනික් සේවකයන් සිව්දෙනා දැනට ඔවුන්ගේම බුලත්විට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ ඔහුගේ අඩි පාරේ යමිනි.

බුලත්විට විකිණීමෙන් ජීවත්වන ඔහුට ඕනෑ නම් ආදායම් බද්දක් වුවද ගෙවිය හැකි බවයි ඔහු පැවසුවේ. ජීවිත උත්සාහයෙන් ජයගෙන එනකොට ඔහුගේ බිරිඳ දරු දෙදෙනා සමගින් ඔහු තනි කරලා දිවියෙන් සමු අරන් තිබුනා. පැමිණි දුක් පැණි රසයි කියන්නාක් මෙන් මල්ලි මාමා හැම කරදරයකට ම එඩිතරව මුහුණ දුන්නා. ඔහුගේ බිරිඳ ජීවිතයෙන් සමුගන්න විට පුතාට වයස අවුරුදු හතක් වන අතර දුවට වයස අවුරුදු හතරයි. ඔහු දුවව නායක කන්දේ යහපත් එඬේරා කන්‍යාරාමයේ නතර කළා.

දරු දෙදෙනාව උස් මහත් කරගන්න ඔහුගේ බුලත් විට රැකියාව මහත් හයියක් වගේම රුකුලක් වුණා. දැන් දුව විවාහකයි. පුතත් එයාගේ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් බුලත් විට රැකියාවෙන් දරු දෙදෙනා සමගින් මෙම මල්ලි මාමා තම ජීවිතය සතුටින් ගැට ගහගෙන ගියා. ඔහුට මේ වන විට වයස අවුරුදු හැට හයයි. දිගටම මෙම රැකියාවම කරගෙන යන්න තමයි ඔහුගේ අදහස වන්නේ. අද වන විට ඔහු දවස ට බුලත් විට 1000 පමණ අලෙවි කරනවා. හදන බුලත් විට කඩවල් වලට ගිහින් විකුනනවා. තමා යටතේ වැඩ කරන සේවකයන්ට කෑම බීම දීලා රුපියල් 1200 ක පඩියක් දෙනවා.

උත්සහවන්තයා ජය ගන්නට මල්ලි මාමා නොහොත් සිසිල් හපුආරච්චිගේ බුලත් විටේ කතාව නිම වෙද්දි වෙද්දී අපේ අවධානය යොමු වන්නේ ඔහුගේ බුලත් කඩේ ඉහළින් සඳහන් කර තිබූ පාඨයක් වෙතයි. ඒ ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යනුවෙනි. ඕනෑම කෙනෙක් එක් දෙයකට හෝ සමතෙක් වෙන බැවූ මල්ලි මාමාගේ විටේ කතාවෙන් අපිට මොනවට පසක් වේ.

Leave a Comment