Lifestyle

ගැහැණු ඇඳුම් පැළඳුම් ඇන්ඳට හැමෝටම ගැහැනු චරිත කරන්න බෑ මහින්ද පතිරගේ

පුංචි තිරයෙන් රිදී තිරයෙන් වේදිකාවෙන් වගේම ගුවන්විදුලියෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි මහින්ද පතිරගේ සිනහවෙන් මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්නා කලා ශිල්පියෙක්. ඔහුගේ බිරිඳ ගායිකාවක් ඇය විශාරද කුමුදුනි ගුණවර්ධන. එවගේම දියණිය ශාරදා පතිරගේ ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක්. ඒ වගේම ඇය සින්තෙටික් ටෙලිනාට්‍යයේත් ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතයන් නිරූපණය කරනවා. ඒ වගේම සමනල ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයත් නිරූපණය කළා. පුතා නදුන් පතිරගේ ත්‍රී ඩී ඇනිමේෂන් නිර්මාණ ශිල්පියෙක්.
ඉතින් මහින්ද පතිරගේ මේ දිනවල ත්‍රී සිස්ටර්ස් වැඩසටහන ඉදිරිපත් කරනවා. ඔහු වේදිකාවට ආදරේ කෙනෙක් . පසුගිය දිනවල අල්ලයි වල්ගේ නම් මොහුගේ වේදිකා නිර්මාණය ඉතාම හොඳින් තිරගත වුණු වේදිකා නාට්‍යයක්. ඒ වගේම ඔහු ඉදිරිපත් කරන ත්‍රී සිස්ටර්ස් වැඩසටහනේදී ඔහුව මිනිසුන් හඳුනා ගන්නා රැවුල ද අහිමි කර ගන්නට වුණා. එම වැඩසටහන ඔහුට අභියෝගාත්මක වැඩක් බවයි ඔහු සදහන් කලේ.

කාන්තා චරිත නිරූපණය ගැන ඔහු මෙහෙමයි සඳහන් කළේ. එදා ටවර් හෝල් නාට්‍ය පදනම පටන් ගත් මුල් අවධියේ රංගනයට කාන්තාවන් සිටියේ නැති නිසා එය සංස්කෘතියට පටහැනි දෙයක් ලෙසින් සැලකුවා. මගේ තාත්තා හෙන්ද්‍රික් අප්පුහාමි එකල ටවර් හෝල් පදනම රංගනය කළ කලා ශිල්පියෙක්. ඔහුත් එකල කාන්තා චරිතය ඉදිරිපත් කළා. නමුත් මහින්ද පතිරගේ පවසන ආකාරයට කාන්තා ඇඳුම් පැළඳුම් ඇන්ද පමණින් කාන්තා චරිතයන් කළ නොහැකි බවයි. එහිදී කටහඬ පවත්වාගෙන යාම ඉතා අභියෝගාත්මක දෙයක්. එක් එක් භාවයන් නිරූපණය කිරීමේ දී සැබෑ කටහඬ භාවිතා කළ නොහැකියි. එලෙස කටහඬ වෙනස් කර ගත්ත ද එය චරිතය පුරාවටම නොවෙනස්ව එකම ලෙසින් පවත්වාගෙන යෑම තමයි සැබෑවට ම අසීරු දේ. ත්‍රී සිස්ටර්ස් වැඩසටහනේ අනිත් දෙදෙනාත් එසේමයි. එම නිසා එය සාර්ථකව ඉදිරිපත් කිරීමක් හැටියට ඔවුන් සිතනවා.

ප්‍රේක්ෂකයන්ව ප්‍රහසන කිරීමට සාමාන්‍ය කලාකරුවෙකුට නම් බැහැ. එයට තමාටම ආවේනික වූ අනන්‍ය වූ දක්ෂතාවයක් තිබිය යුතුයි. ප්‍රහසන නළුවෙකුට චරිතාංග නළුවෙක් බවටත් පත්විය හැකියි . එය කෙනාගෙන් කෙනාට වෙනස් වනවා. අසීරුම දේ සාර්ථකව සිදු කොට තිබෙනවා නම් ඊට වඩා පහසුවෙන් ස්වභාවික නිර්මාණයක චරිතාංග නළුවෙක් විදියට චරිතයන්ට පණ පොවන්නට හැකියි. ලංකාව තුළ ඇති අභාග්‍යසම්පන්න ම දේ තමයි ප්‍රහසන තුළින් දක්ෂතා පෙන්වූ විට එම නළුවන් ප්‍රහසන චරිත වලට කොටු කිරීම.

ප්‍රහසන නළුවෙක් විදියට මහින්ද පතිරගේ සඳහන් කරන ආකාරයට ලංකාව තුළ ප්‍රහසන රංගන ශිල්පීන්ට තිබෙන තැන ගැන කතාකරනවිට ඔහු හිතන්නේ අගයකිරීම පැත්තෙ නම් ප්‍රහසන ශිල්පීන්ට ලැබෙන්නේ හරිම අඩු සැලකිල්ලක්. සම්මාන උළෙලකදී විකට නළුවන්ට සම්මානයක් වත් නොලැබෙන තත්ත්වයක් තමයි අද වෙනකොට තියෙන්නේ . විකට නළුවෙක් වන ටෙනිසන් කුරේ මහතාට සම්මානයක් ලැබෙන්නේ අවසාන කාලයේදී. ප්‍රහසනය කියන දේ අවරගණයේ අද බාල තත්ත්වයට පත්වෙලා . බටහිර රටවල නම් චාලි චැප්ලින් වැනි ප්‍රහසන නිර්මාණ ශිල්පීන් වත් ලෝකයේ ප්‍රබලතම ශිල්පීන් ලෙස ප්‍රසිද්ධයි.

ගුවන්විදුලියෙන් ආරම්භ කළ මොහුගේ කලා ජීවිතය දැන් දශක හතරකටත් වැඩියි. මොහු 1976 වසරේ දී රජරට ප්‍රදේශයේ ජන නළුකැල නමින් කලා සංගමයක් පවත්වාගෙන ගියා . එහිදී 1976 වසරේදී ම ප්‍රාදේශීය නොහොත් ගම්මට්ටමින් වේදිකා නාට්‍ය ඔවුන් විසින් සිදු කළා . පසුව රාජකීය වෙන්දේසියක් නමින් නාට්‍යයක් කොළඹට රැගෙන ආවා . ඒ අය රට වටේම ගෙන ගිය ප්‍රසිද්ධ ප්‍රාදේශීය නාට්‍යයක් බවට පත්වුණා . එහි රචකයා නැතිනම් අධ්‍යක්ෂවරයා වූයේ ප්‍රසිද්ධ රචකයෙක් වන සුනන්ද සිල්වා මහතා . ඒ හරහා තමයි මොහුගේ ස්ථිර කලාකරුවෙකු නැතිනම් ශිල්පියෙක් වශයෙන් කලාව තුළ අත්තිවාරම් දැමීම සිදු වුණේ .එදා එලෙසින් ගුවන්විදුලියට ඇතුළත් වුණේ ඔඩිශන් එකකින් සමත් වීමෙන් පසුවයි . පසුකලෙක රාජ සභාව වැනි නිර්මාණ බිහිවුණේ ඔහුත් සමග අද දක්වා පැමිණි දීර්ඝ ගමනේ ප්‍රතිඵලයක් වශයෙන්.

මොහු වඩාත්ම කැමැති සිනමාවට සහ වේදිකාවටයි . එම නිසා පුංචි තිරය තුළ දී දැකීමට අඩු වීම එයට හේතුවයි. අද සිටින නවක රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට මොහු පවසන්නේ මේක එක රැයින් පැමිණිය හැකි ගමනක් නෙවෙයි . දුක් මහන්සි වී යන්න ඕන ගමනක් .අන්න එහෙම ඕනකමක් කැපවීමක් තියෙන අය අද දකින්න නම් ලැබෙන්නේ නැහැ.

ඒ වගේම මහින්ද පතිරගේ නම් කලා ශිල්පියා ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ කලා ජීවිතය පටන් ගන්නේ චිත්‍ර ශිල්පියෙක් විදිහටයි .ඒ සිනමා නිර්මාණවල ප්‍රචාරක පුවරු සිත්තම් කරන්නෙක් ලෙස . ලස්සන දවසක් කියන චිත්‍රපටයට මුලින්ම ප්‍රචාරක පුවරුව ඇන්දා. ඉන්පසුව නිර්මාණ රැසකට සිත්තම් කරන්න දායක වුණා . නමුත් පසුකාලීනව මේ කලාව ඩිජිටල්කරණයට ලක් වීම මත ක්‍රමයෙන් එම අවස්ථාවන් අඩු උන බවයි ඔහු සඳහන් කළේ.
ඉතින් මෙවන් වූ කලාවෙහි මහත් වීරවරුන් හට තව තවත් කලාව පෝෂණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි හදවතින් ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment