Lifestyle

ඔව් ඒ වදන් සිතුවිලි මාගේ ම විය කුමාර් ධර්මසේන තැබූ සටහන ගැන වෙනස්ම කතාවක් එළියට සටහනේ මුල් හිමිකරු හඬ අවදි කරයි

කුමාර් ධර්මසේන කියන නම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. අපේ රටෙන් බිහි වූ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩා විනිසුරුවරයෙක් විදියට ඔහුව හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකදී ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා විනිසුරුවරයෙක් වීමට හැකි වූ ලෝකයේ පළවෙනි පුද්ගලයා විදිහට සැලකෙන්නේ කුමාර් ධර්මසේන ම තමයි. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් තම ක්‍රිකට් දිවිය අරම්භ කරපු ඔහු කාලයක් අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක්. ඉන්පසු එයින් ඉවත්ව ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙක් විදිහට තම සේවය ආරම්භ කලා.

ඒ වගේම ලෝකයේ මේ වන විට සිටින ප්‍රමුඛ ම ක්‍රිකට් ක්‍රීඩා විනිසුරුවරු අතරට අපේ රටේ කුමාර ධර්මසේන මහතා එක් වී සිටීම අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ආඩම්බර විය යුතු කරුණක්. මේ දවස්වල අපේ රටේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී ද විනිසුරුවරයෙක් විදිහට ඔහු කටයුතු කරනවා.

ඉතින් කුමාර් ධර්මසේනට ඔහුගේ ජීවිතයේ මේ ලබාගෙන තියෙන ජයග්‍රහණ දෙස බලලා ඔහු මේ ආ ගමන ගැන සතුටු වෙමින් එතනට එන්න උපයෝගී වුණ මේ දුෂ්කර ගමනේ ඔහු කළ කැපවීම් ගැන ආදිය සිහි ගැන්වෙන සිද්ධියක් ගැන ඔහු අපූරු සටහනක් පල කරලා තිබුනා. ඒ අධික වර්ෂාව වෙලාවක ඔහු සිය මෝටර් රථයේ ගමන් කරන අවස්ථාවක බයික් එකක ගමන් කරමින් හිටපු තරුණයෙක් වර්ෂාව නිසා නොතෙමී සිටීමට යතුරුපැදිය නවතා ගසක් යටට වී සිටින දසුන දුටු කුමාරගේ හිතට ආපු අදහස තමයි ඔහු මේ විදිහට පළ කරලා තිබුණේ.

එක දිගට අවුරුදු පහක් කිලෝමීටර සිය ගණන් බයික් එකේ තෙමුණු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනවා. ඒ හැම වෙලාවෙම පාරේ නොතෙමී යන වාහන දිහා අහිංසක විදිහට බලන් හිටියේ අල්පෙනෙති තුඩක තරම්වත් ඉරිසියාවකින් නම් නෙමෙයි. ඒ හැම වෙලේම සිහින දැක්කා මමත් කවදහරි නොතෙමී යනවා කියලා. අද මම නොතෙමී යනවා. ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචනවලින් කියන්න බැහැ. මම නොතෙමි යද්දි මගේම එවුන් තෙමී ගෙන එද්දී යද්දි පුදුම හැගීමක්. මට උඹලත් එක්ක තෙමෙන්න බැරි වෙයි. ඒත් හදවතින් පතනවා හැම මොහොතකම උඹලා හැමෝටම මාත් එක්ක නොතෙමි යන්න ඉක්මනටම.

ගොඩක් සංවේදී විදිහට තමයි කුමාර් මේ සටහන ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් විදියට දමා තිබුණේ. කුමාර් ධර්මසේන මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමට එකතු කර තිබූ මේ සටහන පිළිබඳව හැමෝගෙම අවධානය යොමු වුණා. එයට හේතුව මෙම සටහන ඔහු විසින් ලියන ලද්දක් නොවන බවටත් එහි මුල් හිමිකරු වෙනත් අයෙකු බවටත් ඔප්පු නිසයි. අවසානයේ දැනගන්නට ලැබුනා මෙහි මුල් හිමිකරු චින්තක නුවන් කියලා තරුණයෙක් බව. චින්තක මේ මාසේ විසි විසිපස් වැනිදා මෙය පළ කරපු බවට සාක්ෂි දැකගන්නට ලැබුණා.ඒ කොහොම වුණත් තමන්ගේ අදහස උපුටා ගැනීම ගැන චින්තක කුමාර් ධර්මසේනට ස්තුතිය පළ කරමින් ලිපියක් පළකර තිබුණා.

එක් සිතුවමක්. එයට උරුම වූ පද පෙළක්. අවදි වූ මතකයක්. මුහුණු පොතේ ඉහල පහල යන එක්තරා දිනක මා අහඹු ලෙස දුටු එක් සිතුවමක් මගේ අතීත මතකයන් නැවත මා හට එක පෙළට මතක් කර දීමට තරම් සංවේදී සිතුවමක් වුණා. එම විශිෂ්ට ඡායාරූපයෙ සැබෑම හිමිකරු ප්‍රියන්ත බණ්ඩාර නම් අති දක්ෂ ශිල්පියායි. ඒ එයට මාගේ ජීවිත අත්දැකීමක් මුල්කර වදන් පෙළක් මා මුහුණු පොතේ සටහන් කළ අතර එය බොහෝ දෙනාගේ අතීත ජීවන අත්දැකීමක් මෙන්ම සමහරුන්ගේ වර්තමාන ජීවිත අත්දැකීමක් බව ද මා හට ටික දිනකින් පසක් විය.

ඔව් ඒ වදන් සිතුවිලි මාගේ ම විය. නමුත් ඒ ජීවන අත්දැකීම මාගේ පමණක් නොවේ. එය ඔබට මට මෙන්ම කුමාර ධර්මසේන යන ලෝක පූජිත අපේ ක්‍රිකට් ක්‍රීඩකයාට විනිසුරුවරයාට අයිති වූ ජීවිත අත්දැකීමකි. ඉතින් ආදරණීය කුමා, ඔබේ ජීවන ගීතයේ එක් තැනක මතකයක් අවදි කිරීමට ලැබීම මා හට සතුටකි. එන්න දවසක මේ වගේ වැහිබර දවසක හැමෝම කතා වෙන ලස්සන ෆොටෝ එකක් ගමු. අපි ප්‍රියන්ත බණ්ඩාර නම් අති දක්ෂ ඡායාරූප ශිල්පියාට කියලා.

මෙලෙස කුමාර් ධර්මසේන මහතා මුහුණු පොතේ පළ කළ සටහනේ මුල් අයිතිකරු වන චින්තක නුවන් මේ විදියටයි ධර්මසේනට කතා කර තිබුණේ.

Leave a Comment