Lifestyle

රටට දැයට ණය නැති පොළොන්නරුවේ ජයසිංහ පවුල දරුවන් 11 දෙනෙක්ගෙන් යුත් ආදරණීය කැදැල්ල

පුංචි දිය උල්පතකින් මහා ගංගා ඇළ දොළ මවන්න පුලුවන්. මේ ගංගා ඇළ දොළට පුළුවන් මුළු ගමක් රටක් සාරවත් කරන්නට. ඉතින් එබඳු දිය උල්පතක් වන අම්මෙකුගෙ සහ පියෙකුගේ ආදර අන්දරයක ප්‍රතිඵලයක් ලෙස දරුවන් එකොළොස් දෙනෙකින් යුත් පවුලක සෙනෙහෙබර මතක ගොන්නක් කැටි කරන්නට පොලොන්නරුවේ ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒ පින්බර අම්මාගේ ආදරය කැප කිරීම මත තමයි මේ දරුවන් එකොළොස් දෙනෙක් මෙලොවට බිහි වෙන්නේ. එය අම්මගේ පමණක් නොව දරුදැරියන් පෝෂණය කර උස් මහත් කරන්නට වෙර දැරූ පියාණන්ගේ ද අනභිභවනීය කැපකිරීමක්.

පුංචි පවුල රත්තරන් යන සංකල්පයට තිත තබමින් දරුවන් එකොළොස් දෙනෙක් ගෙන් යුත් පවුලක කොඳුනාරටිය අම්මා. ඇය සැබැවින්ම ස්නේහවන්ත කාන්තාවක්. ඇය වීර කාන්තාවක් සේම ආඩම්බරකාර මාතාවක්. ඇය ශ්‍රියාලතා ජයසිංහ මාතාව. දරුවන් උස් මහත් කර මොවුන් පෝෂණය කරන්නට අම්මගේ ජීවිතයට ආලෝකයක් අරන් ආව ඒ වීරයා ගොවියෙක් ඔහු නමින් සමරපාල ජයසිංහ පියාණන්. රටට ණයක් නැති මිහිකතට ආදරේ ඇති ආඩම්බරකාර තාත්තා. මේ වන විට ඔහු මේ ලෝකෙන් සමුගෙන ගියත් ඔහුගේ මතක ගොන්න හැමදාමත් දරුවන් ළග රැදේවි.

තව දරුවන් එකොළොස් දෙනාත් සමග සතුටින් කාලය ගත කරන මෙම ශ්‍රියාලතා ජයසිංහ මාතාවට කොතරම් සතුටක් ඇත්ද. ඒ වගේම මෙතන සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ මෙම දරුවන් එකොළොස් දෙනා ම මේ වන විට ලංකාව තුළ ඉහළම ස්ථානයන් හිමිකරගන්නා අයවලුන් වීම. කෘෂිකර්මාන්තය ඔස්සේ තම දරුවන් පෝෂණය කළ ඒ උත්තරීතර පීතෘත්වය අද මේ මිහිපිට නොසිටිය ද එහි ප්‍රථම ගරුත්වය යා යුත්තේ ඔහුටයි. දෑතේ වීරියෙන් කුඹුරු වැඩ කර දරුවන්ට ඉගැන් වූ ඒ මහා පුරුෂයා සිදු කළ කැපකිරීම අද මල් ඵල දරලා. විය යුත්තේ එයයි.

වැඩිමහල් සහෝදරියගේ සිට බාල සහෝදරයා දක්වා ලංකාවේ ඉහල තලවල තම රැකියාව කරගෙන යන අතර මොවුන් සියලු දෙනාම මේ වන විට විවාහ දිවියට පත් වී සිටින අයයි. කුඩා කාලයේ සිටම විවිධ දුක් කම්කටොලු වලට මුහුණ දුන් මෙම දරුවන් අද සිටින තත්වය පිළිබඳව ඔවුන් ආඩම්බර වන්නේ නිහතමානි ලෙසයි. ඊට හේතුව දෙමව්පියන්ගෙන් ලද ගුරුහරුකම් නිසයි. පන්සල ඉදිරියේම නිවස තිබෙන ඔවුන් ආගමට දහමට ලැදි පුද්ගලයන්. උදෑසන 5ට අවදි වී තම දෛනික ක්‍රියාකාරකම් සිදු කරන්නට ආරම්භ කරන්නේ නිවසෙහි බුදු පහන දැල්වීමෙන් අනතුරුවයි. එය ශ්‍රියාලතා මාතාව අනුගමනය කරනවා සේම තම දරු දැරියන්ටත් එය ආදර්ශයක් ගෙන දෙමින් ඔවුන්ද ඒ ආකාරයටම ක්‍රියා කරයි. ආගමට දහමට භක්තියෙන් යුතුව කටයුතු කරන ඔවුන් එයට අනුගතව ම තම ජීවන ගමන කරගෙන යන්නේ.

සමගිය සහයෝගය එකිනෙකා කෙරෙහි සිදු කරන කැපකිරීම මේ සියලුම ගුණාංගයන් සහිතව තමයි ඔවුන් අද එක පොකුරක් ලෙස ක්ෂේත්‍රයේ ඉහළ තලවල ජීවත් වන්නේ. බොදු දර්ශනයට හිත යොමු කරන පවුලක හැදී වැඩුණු මෙම දරුවන් එකොළොස් දෙනා ම එක එකාට පණ මෙන් ආදරේ කරයි. ඒ වගේම විශේෂ යමක් කිව යුතුයි. ඒ අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට ඔවුන් එකා සේ වැඩ කටයුතු කිරීමයි. ඊට කදිම උදාහරණ මෙම පවුල තුළ නම් බොහොමයක් දැකගත හැකියි. වැඩිහිටි සහෝදරියගේ සිට බාල සහෝදරයා දක්වා ඔවුන් නියැලෙන රැකියාව පිළිබඳ විමසා බැලීමේදී පවුලේ වැඩිමහල් සහෝදරිය පුණ්‍යා ජයසිංහයි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරූ ඇය දැන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළවන ශ්‍රේණියේ විදුහල්පතිවරිය හැටියට වැඩ කටයුතු සිදු කරනවා.

ඉන්පසු පවුලේ දෙවැනි පුරුක රම්‍යා ජයසිංහ මහත්මියයි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් හදාරා ඇය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන කළමනාකාරවරියක් ලෙස කටයුතු කරනවා. පවුලේ තෙවැනියා දීපානි සන්ධ්‍යා ජයසිංහ මහත්මියයි. මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා මේ වන විට ඉංජිනේරුවරියක් ලෙස වැඩ කටයුතු කරනවා. සිව්වැනියා චින්තා ජයසිංහ. ඇය වසංගත රෝග විද්‍යා විශේෂඥවරියක් හැටියට කටයුතු කරනවා. සරත් අනුර ජයසිංහ පවුලේ පස් වෙනියා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරා පොලොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලෙස රාජකාරි සිදු කරනවා.
පවුලේ හයවෙනි සහෝදරයා මේ වන විට විදෙස් ගත වී තිබෙනවා. ඔහුත් රටේ ඉහළ රැකියාවක නියැලෙන පුද්ගලයෙක්. කුංචනා ජයසිංහ ඇය පවුලේ හත්වෙනියා. කොළඹ විශ්ව විද්‍යාලයෙන් හෙද උපාධිය හදාරා මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ලෙස තම රාජකාරි කරගෙන යනවා. ඉන්පසු පවුලේ අට වෙනියා හේමන්ත කපිල ජයසිංහ මහත්මා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හදාරා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු විදිහට වැඩ කටයුතු කරනවා. පවුලේ නවවෙනියා. සිසිර උපුල් ජයසිංහ මහත්මා. ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් හැටියට තම රාජකාරි කටයුතු කරනවා. පවුලේ දහ වෙනියා සකුන්තලා ජයසිංහ. ඇය පොලොන්නරුව මහ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ලෙස සේවය කරනවා. සුසන්ත චමල් ජයසිංහ පවුලේ බඩපිස්සා නැතහොත් පවුලේ බාලයා. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හදාරා දයාබරල් පුද්ගලික සමාගමේ අංශ ප්‍රධානියෙක් ලෙස සේවය කරනවා.

මෙහි විශේෂත්වයක් තිබෙනවා සියලු දෙනාගේම මූලික අධ්‍යාපනය ලබාගෙන තියෙන්නෙ පොලොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලයෙන්. පොළොන්නරුවෙන් බිහිවුන රටට වැඩදායි උතුම් පවුලක් තමයි මේ ජයසිංහ පවුල. මේ ආකාරයට තම දරුවන්ගේ ආඩම්බරකාරී අම්මාට සතුට පිරුණු කැදැල්ලක මතකයන් නම් බොහොමයක් ඇති. මිහිරි වුවත් අමිහිරි වුවත් අවසානයෙහි ඇත්තේ මිහිරි බව පමණයි. මෙම පවුලේ වැඩිමහල්ම සහෝදරියට විදෙස්ගත වීමට අවස්ථාවක් ලැබී තිබුණු මොහොතක ඇය එයට පිටුපාමින් තම බාල සහෝදර සහෝදරියන් ගේ අනාගතය වෙනුවෙන් වැඩ කටයුතු කල ලොකු සහෝදරියකි. කුඩා නංගිලාට මල්ලිලාට ලොකු අක්කා ඒ ආකාරයෙන් ආදර්ශී ලෙස ජීවත් වුණ නිසාවෙන් තමයි අනෙක් අයටද එය ඉබේටම පිහිටා ඇත්තේ.

කුඩා කාලයේම සිට තම මවගේ මව ගේත් පියාගේත් ඇති ආදර්ශ ජීවිත ගමන නිතැතින්ම දුටු මෙම දරුවන් එකොළොස් දෙනා රටට වැඩදායි සහ ගුණ ගරුක ලෙස ජීවත් වන්නේ ඒ ආභාෂය සහිතවයි. වචනෙකින් හෝ විරසක නොවුණු මෙම මහා පවුලේ උරුම කරුවන් දෙදෙනා පවුලටම පමණක් නොව මුළු මහත් ගමට රටට ද ආදර්ශයකි. මෙවැනි දරුවන් එකොළොස් දෙනකු ගෙන් යුත් පවුලක මිහිරි කතා නම් බොහෝමයක් තිබෙනවා ට කිසිදු සැකයක් නැත. ඔවුන්ගේ පියාට බය ඇති මේ සියලු දෙනාම තම මවගෙන් නම් අනේක වාරයක් පහර කන්නේ ඔවුන් සිදුකරනා දඟ වැඩ නිසාමයි. එය හරිම සුන්දර අත්දැකීමක්. අධ්‍යාපනයට නිසි මාර්ගයක් ලැබුණු වැඩිමහල් සහෝදරියගේ සිටම බාල සොහොයුරා දක්වාම එක ලෙස අධ්‍යාපනය ඉතා සාර්ථක ව පැවතියේ මෙම පවුලේ ඇති විශ්මයජනකබව නිසයි.
මෙවැනි පවුල් වලින් ගත හැකි දෑ බොහොමයි. මේ විශ්වයේ මෙවන් වූ ආදර්ශමත් චරිත සිටින්නේ නම් ඉතා සුළු පිරිසක්. එවන් වූ සුළු පිරිස අතරට මොවුන්ට පැමිණීම හැකිවීම සම්බන්ධයෙන් ඔවුන් මහත් ආඩම්බරකාරී විය යුතුමයි. මෙවැනි රටට සමාජයට ආදර්ශයක් ලබාදෙන දරු කැලක් බිහි කල ඒ ශ්‍රියාලතා මාතාවට නිදුක් නිරෝගී අනාගතයකට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා සේම දරු දැරියන් එකොලොස් දෙනාටත් අනාගතය තව තවත් මල්ඵල ගැන් වෙන්නට සුභාශිංශනය එක්කරමු.

Leave a Comment