Lifestyle

කෝටියක් වටිනා රැවුලක් හිමි හත්තොටඅමුණේ ජයදාස

හවුලකින් රුපියල් කෝටියක මැණික් ගලක් හමුවෙන තුරු සිය රැවුල නොකපා සිටීමේ තීරණයකට එලැඹි පතල් කම්කරුවෙකු මාතලේ ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ලග්ගල හත්තොටඅමුණ ජී. එස්. ජයදාස මහතා 45 වියෙ පසුවන පුද්ගලයෙකි. ඔහු මෙම තීරණයට එළඹ වසරක පමණ කාලයක් ගත වී ඇත.

තවමත් දිවා රාත්‍රී වෙහෙසෙමින් තම සිහිනය සැබෑ කර ගැනීම සදහා මහපොළව සමග ගැටෙමින් නිල් මැණික් සෙවීමේ කටයුතුවල නිරතව සිටී. මෙම අධිෂ්ඨානය සහිත පතල් කම්කරුවා මීට වසර ගණනාවකට ඉහත ද මේ ආකාරයෙන්ම කිරි අම්මා උල්පතට භාරයක් වී රුපියල් කෝටියක මැණික් ගලක් හමුවන තුරු තම රැවුල කැපීම නොකර සිටියේය.

ඔහුට වසර කිහිපයක් ගත වෙද්දී තම අරමුණ ඉටු කර ගැනීමට හැකි විය. මෙවර තම පෞද්ගලික අරමුණු සඳහා නොව තම ප්‍රදේශයේ නිවාස හිමි අසරණ පවුල් දෙකකට නිවාස දෙකක් තනා දීම සඳහා රුපියල් කෝටියක තනි හවුල් මැණික් ගලක් ලැබෙනතුරු රැවුල කැපීම කින් තොරව මහන්සියෙන් වැඩ කරයි. තම උත්සාහය පිළිබඳව අප සමඟ අදහස් ප්‍රකාශ කළ ලග්ගල හත්තොට අමුණ ජී. එච්. ජයදාස මෙසේ සඳහන් කලේ.

“මම අවුරුදු දහයේ ඉඳලා තමයි පතල් බැස්සේ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කූඩ උස්ස ගන්නවත් බැරි කාලේ තමයි මේ රස්සාව ආරම්භ කළේ. ඉගෙන ගන්නත් බැරි වුණේ පතල් හින්දා. පුංචි කාලේ ඉඳලා කරපු රස්සාවට ආදරෙයි. මේ වෙනකොට කොපමණ පතල් ප්‍රමාණයක් කපලා තියෙනවද කියලා මතකයක් නෑ. අත්වල කකුල්වල කර ගැට ඕනෑ තරම් තියෙනවා මැණික් ගල් වලට වැඩිය. මම පසුගිය වසර කිහිපයකට ඉස්සර රැවුල වවලා ප්‍රාර්ථනාවක් කලා කවදහරි රැවුල කපන්නේ රුපියල් කෝටියක මැණික් හවුලක් මට ලැබිලා මගේ දරුවන්ට බිරියට ඉන්න නිවසක් හදන්න මුල්ගල තියෙනකං රැවුල කපන්නෑ කියලා.

වසර කිහිපයක් ගත වෙලා යද්දී මට බලාපොරොත්තු ඉටුකරගන්න පුළුවන් වුණා. එදා මගේ අලුත් ගෙදරට මුල් ගල තියෙන දවසෙ මම අඩියකට වඩා වැඩුණු රැවුල කැපුවා. මගේ බිරිය තවමත් ඒ රැවුල් ගස් ආරක්ෂා කරලා තියෙනවා. එදා ඉදල පුංචි පුංචි වාසි ලැබුණා. ඒවායින් තමයි දරුවෝ ජීවත් කරවන්නේ. හැබැයි ලොකු වාසියක් අපට ලැබුණේ නැහැ. අපි අමාරුවෙන් හරි මහ පොළොවට පින්සිද්ද වෙන්න ගෙදර හදාගත්තා. නැති අසරණ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. මම කල්පනා කළා මේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙනවා කියලා. ලග්ගල පැත්තෙම තියෙන කිරි අම්මා උල්පත ට ගිහිල්ලා මම බාරයක් වුණා. නැවත වරක් රැවුල් කැපීම නවත්වනව කියල. කවද හරි මේ පතල් වලින් මට රුපියල් කෝටියක මැණික් හවුලක් ලැබෙනකම් මම රැවුල කපන්නේ නැහැ. එහෙම මුදල ලැබුණොත් මම කරන්නේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙන එක. මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරි අම්මා උල්පත ට බාර වෙනකොට ඒවා ඉටු වෙනවා කියල.

උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට. මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා. නමුත් ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන. මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා. උදේ පාන්දර පතල් රස්සාවට එන අපි නැවත රෑ වෙලා තමයි ගෙදර යන්නේ.මුළු ඇඟ පත සියල්ල රිදෙනවා. ඒත් ඉතින් දැන් ඒවා හුරු වෙලා වෙන රස්සාවක් කරන්න බැරි තරම්. මොකද ඒ තරම් අපි මේ රස්සාවට කැමති. මහපොළොව කියන්නේ අපට අම්මා වගේ. හැම දුකක්ම ඉවසලා ඉන්නවා. අපිව ජිවත් කරවන්න අපේ බලාපොරොත්තු ඉටු කරන්න මහපොළොව අම්මා නිල් මැණික් ගලක් දේ කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා විශ්වාසය මත මම තවදුරටත් ජීවත් වෙනවා. මේ මගේ බලාපොරොත්තුව ඉටු වෙච්ච දවසට රැවුල කපන කොට මම ඔයාලටත් කියන්නම් එන්න කියලා.”

ඉතින් එකම අරමුණක් වෙනුවෙන් උදේ රෑ මහන්සි වෙලා වැඩ කරන මේ ජයදාස මහත්මා වගේ අපිත් එක් අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කලොත් අපිට අද මේ ඉන්න තැනට වඩා සමාජයේ ඉහළ තැනකට යන්න පුළුවන් වග නම් විශ්වාසයි. ඉතින් ඒ වගේම ආත්මාර්ථකාමී හැගීමක් නොමැතිව අසරණ අයට උදවු කිරීමේ අරමුණින් මෙතුමා කරන්නා වූ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.

Leave a Comment