Lifestyle

ආච්චිට හාල් ගරන්න කියූ ඉන්දිකා උපමාලි දැන් කියන කතාව

ගායිකාවක්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් රටම හදුනන ඇය නමින් ඉන්දිකා උපමාලී. හරවත් සහ නිර්මාණාත්මක නිර්මාණයන් තුලින් ලාංකික රසිකයන් අතරට එන ඇය ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරනවා.

මේ දිනවල ඇය අලුත් කල වැඩේට ලැබෙන ප්‍රතිචාර සමග අනෙකුත් වැඩ කටයුතුත් සමග ජීවිතය හොඳින් ගෙවනවා. ‘ආච්චිට හාල් ගරනා නිසා’ ඇයගේ අලුත් නිර්මාණයක්. අවුරුදු දෙකක් තිස්සේ පමණ මෙවැනි වෙනස් නිර්මාණයක් කරන්නට ඇයගේ හිතේ තිබිලා තියෙනවා. පවතින සමාජ ආර්ථික සහ දේශපාලනික වටපිටාව තමයි මෙවැනි ගීතයක් කරන්න ඇයව පොළඹවලා තියෙන්නේ.

මෙම අලුත් නිර්මාණය සඳහා ඇය පාදක කරනු ලැබුවේ උත්ප්‍රාස රසය අනූන කවියක්. මෙය කුමාර හෙට්ටිආරච්චිගේ කවියක්. ඇය මෙම කවිය දැක තිබෙන්නේ ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබුණු විටයි. වර්තමාන සමස්ත සමාජය පෙන්වන කැඩපතක් නිසා ඇය මෙය නිර්මාණයට පාදක කරගන්න හිතුවා. ගීත රචනාවක් වගේ නෙවෙයි සාමාන්‍යයෙන් කවියක සම්පූර්ණ අදහස උකහා ගන්න සමස්ත කවියම කියවිය යුතුයි. කවියක් වීම නිසා මෙම පද රචනාවේ නිර්මාණාත්මක ශක්‍යතාවය ඔප් නැංවිලා තිබෙනවා. ඒ වගේම කවි පන්තිය මුල සිට අගට යන තෙක්ම ලියවී තිබෙන්නේ ලාංකේය ජනවහර යොදාගෙන බවයි ඉන්දිකා උපමාලී කියන්නේ. පසු ගිය කාලයේ අපිට ඇසුණු ගීත බොහොමයක් ආදරය, විරහව පදනම් කරගත් ඒවා. එතනින් එහාට ගිය නිර්මාණ දකින්නට නැති තරම්. කලාව තුලින් ඉන් ඔබ්බට ගිය යමක් කළ හැකි නිසාම ඇය මේ කවිය තෝරගෙන තිබෙන්නේ.

මෙම ගීතයේ තනුව නිර්මාණය කලේ ඇය විසින්මයි. මෙය Blues කියන ශෛලියෙන් නිර්මාණය වූවක්. මම ශෛලිය බොහෝ වෙලාවට කළු ජාතිකයන් ඔවුන්ගේ ආවේගයන් සහ ගැටළු පිළිබඳ ප්‍රකාශයන් ඉදිරිපත් කරන්න යොදා ගන්නවා. ඇය ලංකාවේ කාන්තා හඬකින් මෙවැනි ගීතයක් ගායනා කරන පළමු වතාව මෙය. බොහෝ දෙනෙක් හිතන්නේ ඇයගේ ශෛලිය ඔපෙරා ශෛලිය කියලා. නමුත් ඇය ඔපෙරා ගායිකාවක් විදිහට ජනප්‍රිය වෙලා තිබුනට ඇත්තටම විවිධ ශෛලීන් වල ගීත ගායනා කරලා තිබෙනවා. ඇයගේ විශේෂත්වය වන්නේ නිර්මාණයක් කරන විට එම ප්‍රකාශනය කරන්න අවශ්‍ය සුදුසුම ශෛලියෙන් නිර්මාණය කරන්න පෙළඹෙන කෙනෙක් බවයි.

මෙය ගීතයක් ලෙස නිර්මාණය උනාට පසුව ඉන්දිකා ගේ මිතුරියක් වන නදී කම්මැල්ලවීර කතාබහ කරලා තිසර ඉඹුලාන ට මෙහි රූප රචනය සිදු කරන්න බාර දුන්නා. ඔහුගේ අදහස වුණේ මේ ගීතය තුලින් කියවෙන කුණු ගඳ ගහන ඇත්ත තුළ තිබෙන තිත්ත බව නොපෙන්වා ආකර්ෂණීය විදිහට රූප රචනය සිදු කරමු කියන එක. ඒ අනුවයි රූප රචනය නිර්මාණය වුණේ.

මෙම ගීතයේ රූප රචනාව සහ ගායන ශෛලිය තුළින් ඇගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා ඇය සිතන්නේ නැහැ. කලාකරුවෙකුගේ කාර්යභාරය වන්නේ තමන්ගේ නිර්මාණ තුළින් යම් පණිවිඩයක් සමාජයට අරගෙන එන එක. ප්‍රතිරූපයක් නඩත්තු කරනවට වඩා සමාජයට සිදුවිය යුතු යහපත ගැනයි ඇය අවධානය යොමු කරන්නේ. සමස්තයක් විදිහට මේ තුළින් පෙන්වන්නේ වර්තමාන සමාජය පත්වෙලා තිබෙන අවිනිශ්චිත වාතාවරණය ගැන. මෙය පෞද්ගලිකව ඉන්දිකා උපමාලි ලෙස ග්‍රහණය කර කරගන්න එක තමයි ගැටලුව. මෙය චරිතයක් ලෙස ගත්තා නම් ගැටලුවක් ඇති වන්නේ නැහැ. කලා කරුවාගේ කාර්යභාරය සමාජ පිළිබිඹුවක් පෙන්වන එක.

ඉන්දිකා උපමාලි සිතන්නේ ප්‍රතිරූපය කියන්නේ නඩත්තු කළ යුතු දෙයක් නොවන බවයි. ඇය මෙතෙක් කල් ප්‍රතිරූපයක් නඩත්තු කළා ද කියලවත් දැනගෙන සිටියේ නැහැ. ඇය නිදහසේ ඇගේ කලා නිර්මාණ කළ කෙනෙක්. පළමුවැනි වතාවට තමයි ඇයත් අහන්නේ මේ ගීතය තුළින් ඇගේ ප්‍රතිරූපය හානි කරගත්තා කියන එක. අපේ රට මේ වන විට අපට දරාගන්න බැරි ලෙස සෑම අංශයකින්ම පිරිහිලා පිළිකුල් තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ.

මෙම නිර්මාණය තුළින් ඇය සමාජයට දෙන්න බලන පණිවිඩය බහුතර සාමාන්‍ය ජනතාව හරි තැනින් අල්ලා ගෙන තිබෙනවා කියලා ඇය හිතනවා. හරිම සරල පදමාලාවක් තිබෙන්නේ. ඔවුන් මෙම ගීතයේ වචනයෙන් වචනය කියවා ගන්න, ව්‍යංගාර්ථ පැහැදිලි කරගන්න උත්සාහ කරලා තිබෙනවා කියලා ඇයට තේරිලා තියෙන්නේ.

ඉතින් ඇගේ ඉදිරි නිර්මාණ වැඩකටයුතු ලෙස සඳහන් කළේ සමාජ දේශපාලන කියැවීමක් සහිත වෙනස් විදියේ වැඩ කටයුත්තක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා කියලයි. මේ මොහොතේ කලා කරුවාගේ සහ ගුරුවරුන්ගේ කාර්යභාරය අපේ රටේ මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමටත් ඇයගේ බලාපොරොත්තුවක් වනවා. ඒ සඳහා කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක වැඩ කිහිපයක් කරන්නත් ඉන්දිකා උපමාලි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් ඇගේ ඉදිරියේ කරන්නට යන බලාපොරොත්තු වගේම ඇගේ අනාගතයත් මල්ඵල ගැන් වෙන්නට අපි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment