Lifestyle

අපේ ගමේ අවුරුදු කුමාරිය වුණේ මම සතුට තුරුළු කරගෙන ජීවත් වෙන අවුරුදු 115ක අත්තම්මාගේ කතාව

අලුත් අවුරුද්දට අත්තම්මලාගේ ගෙදර ගියාම අතේ හංගගෙන ඉඳලා සල්ලි දෙන සුන්දර අතීතයක් අපි හැමෝටම තිබුණා. අම්මට නොදෙවෙනි ආදරයක් තමයි අත්තම්මගේ ආදරේ. ඒ අතීතය හරිම සුන්දරයි. ගමේ සීයගෙ කරේ නැඟලා ගම වටේම ඇවිදපු අතීතයත් හරිම සුන්දරයි. ඉතින් ඒ වගේ සුන්දර අත්තම්මා කෙනෙක් ගැනයි අද මේ කියන්න යන්නේ.

මේ අත්තම්මා ඉපදුණේ අකුරැස්ස අතුරලිය ගම්මානේ. එයාගේ නම තමයි කංකානම් ගමගේ ඩිංගිහාමි. උපන් දිනය 1906 ජනවාරි මාසේ එකොළොස් වෙනිදා. ඉතින් මෙහි විශේෂත්වය වන්නේ මෙය මාතාවගේ වයස අවුරුදු එකසිය පහළොවක් වනවා.

තවමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන ඇය දැන් ජීවත් වන්නේ නම් වාහල කනංකේ පාලුවත්ත ගම්මානයේ. ඉතින් අපි මේ අත්තම්මගේ සුන්දර අතීතය ගැන පොඩ්ඩක් බලමු.
ඩිංගිහාමි අත්තම්මා ඉපදුණේ අතුරලිය ගමේ. අකුරැස්ස තමයි ගම තියෙන්නේ. සහෝදර සහෝදරියන් හතර දෙනෙක් සිටින පවුලක ඩිංගිහාමි මාතාව සමගින් පස්දෙනෙක් වෙනවා. ඇය තමයි පවුලේ බාලයා. ඒ කියන්නේ බඩපිස්සා. මේ වෙනකොට නම් අත්තම්මාගේ සහෝදර සහෝදරියෝ කවුරුත් ජීවත් වෙන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාම මෙලොවෙන් සමු අරන්. මේ ඩිංගිහාමි මාතාව තමයි තවම ජීවත් වෙන්නේ.

ඒ කාලේ අතුරලිය ගම හරිම සුන්දරයි ලු. ගහකොළ සතා සීපාවා දියකඩිති මහ ගස් වැල් වලින් ගම හරිම සුන්දර වෙලා තමයි තිබිලා තියෙන්නෙ. මහ පාර තිබුණ නමුත් තාර පාරවල් නම් තිබිලා නැහැ. කරත්තයක් දෙකක් ඉද හිට සතියකට දෙකකට ගමන් කරනවා. මේ කාලේ වාහන තිබිලා නැහැ. ගමේ වැඩි හරියක් පයින් තමයි යන්නේ. ගම්මු කද මලු අර ගෙන කරේ තියාගෙන තමයි යන්නේ. ඒ වගේම බඩු කඳවල් කරේ තියාගෙන තමයි ගමේ ඈයො ගමන් ගියේ. ඉතින් ඒ කාලේ මේ අතුරලිය ගම හරිම සුන්දරව තිබිලා තියෙනවා. මේ අතුරලිය ගම් පලාතේ වැඩි දෙනෙක් ගොවිතැන තමයි කරල තියෙන්නෙ. ගමේ ඈතට වෙන්න කඩමණ්ඩියකුත් තිබුන කියල ඩිංගි හාමි අත්තම්මට මතක තිබුනා.

පවුලේ බාලයා වන ඩිංගිහාමි මාතාවට කවුරුත් ආදරෙයි. එතුමිය පාසල් ගිහින් තියෙන්නෙත් අතුරලිය නාරංකැටිය ඉස්කෝලෙට. ඒ කාලේ හිටපු ගුරුවරුන් හරිම සැරයි ලු. ඒ නිසා ඉස්කෝලේ යන්නැති ළමයි බලන්න ලොකු ගුරුතුමා ගෙවල් වලට එනවා. ඒ ඇවිත් ඒ කට්ටියට නඩු දානවා. ඉතින් කෑවත් නොකෑවත් මුදල් තිබුනත් ඉස්කෝලේ යන්න වෙනව තියන ඇඳුමක් ඇඳගෙන හරි. ගෙවතු වැඩ, අත්කම් වැඩ, අකුරු ලියන එක, ගණන් හදන එක, පොත් කට පාඩම් කරල හයියෙන් කියන එක, කවි සින්දු කියන එක වගේ දේවල් දුවන පනින වගේ දේවල් තමයි ඉස්කෝලේ කරන්නේ.

ඊට අමතරව ගෙදර වගේ පාසලෙත් මල් වැව්වා. ඒවට පොහොර දැම්මා. ඉතිං ගොම පොහොර හොයන්න කොලපතක් අරගෙන ඉස්කෝලෙ ගෑනු ළමයි ටික පාසලේ ඉඳලා ගමේ කරත්ත පාරවල් දිගේ ගියා. ඒ වගේ සුන්දර අතීතයක් තමයි මේ ඩිංගිහාමි අත්තම්මට තිබිලා තියෙන්නේ. මේ අත්තම්මලාගේ තරුණ කාලය වැඩිදුර අධ්‍යාපනය කරන්න පාසලට ගියේ නම් බොහොම අඩුවෙන්. වත්තෙ කුඹුරේ වැඩ කරන්න තමයි අම්මලා ගොඩක් පුරුදු කරල තියෙන්නේ. පොල් ලෙලි තලන්නේ වත්ත පිටිය වගා කරන්න, වී ගොවිතැන කරන්න වැනි දේවල් වලට තමයි වැඩියෙන් කාලය යොමු කරල තියෙන්නේ. ඒ වගේම ඒ කාලේ කට්ටියට මැහුම් ගෙතුම් වැඩ කරන්න බීරළු රේන්ද වියන්නත් පුළුවන්.

දැන් අවුරුදු එකසිය පහළොවක් වුන මේ ඩිංගි හාමි අත්තම්මා ගැටිස්සි කාලෙ හරිම දඟයි ලු. අල බතල කොස් දෙල් කැකුළු හාල් බත් කනකොට ගඟේ ඇලේ දොලේ තමයි නෑවේ. මිරිදිය මාළු තමයි කෑවේ. කරවල හොදිත් එක්ක කොස් කන්න නම් මේ ඩිංගි හාමි අත්තම්මා අදටත් කැමතියිලු. තාම අතුරලිය කොස්තානාගොඩ වත්තේ ගෙදර තමයි හිටියෙ. ඊට පස්සේ අම්මලගෙ කැමැත්තට කපුවෙක් මාර්ගයෙන් විවාහ වුණේ දනෝරිස් අප්පුහාමි මහත්මයා එක්ක. ඊට පස්සේ තමයි කනංකෙ පාලුවත්ත ගමට ආවෙ. ඩිංගිහමි අත්තම්මටත් දනෝරිස් අප්පුහාමි සීයටත් දරුවෝ තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ පුතාලා දෙන්නයි එක දුවයි. ඒ දුව පුංචි කාලෙදිම ජීවිතය සමු අරන්. ඊට පස්සේ පුතාල දෙන්නත් එක්ක මේ ගොල්ලො දුකසේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. වතු වල උදුලු ගාලා දළු කඩල තමයි දනෝරිස් අප්පු සීයා සිය පවුල රැකගෙන තියෙන්නේ.

මීට අවුරුදු 43කට පෙර ඩිංගිහාමි ආත්තම්මගේ සැමියා මිය ගිහින් තියෙනවා. ඉතින් මේ වයස අවුරුදු එකසිය පහළොවක් වන අත්තම්මගේ ඇස් දැන් නම් ටිකක් පේන්නේ නෑ නෑ නමුත් හොඳට කන් ඇහෙනවා. රෑට පැය දෙකක් වගේ කෙටි කාලයක් තමයි නින්ද යන්නෙ මොකද දවල් ටික වෙලාවක් නිදා ගන්න නිසා කියලා තමයි අත්තම්මා හිතන්නේ. ලොකු පුතා එම්.ජී පියදාස අවුරුදු අසූ දෙකක් වන අතර වෙන අතර පොඩි පුතා එම්.ජී. සිරිසේන අවුරුදු හැත්තෑ හැටක්. මේ අත්තම්මාට මුණුබුරු මිණිබිරියන් 24 දෙනෙක් වගේ ඉන්නවා. මේ වෙනකොට පොඩි පුතාගේ ගෙදර තමයි ජීවත් වෙන්නේ. ඒ දවස් වල නම් මුනුබුරු මිණිබිරියන් හුරතල් කරන්න රැකබලාගන්න ඩිංගිහාමි අත්තම්මාට පුළුවන් වුනාලු නමුත් දැන්නම් බැරි ලු.මේ වෙනකොට පොඩි පුතාගේ නිවසේ ඉන්න ඩිංගිහාමි අත්තම්මාට ලේලිය හොඳට සළකනවා. කෑම බීම දී හොඳට රැකබලා ගන්නවා. ඩිංගි හාමි මාතාවට ඇය දිරිගන්වන තිළිණ සහතිකගණනාවක් ලැබිලා තියෙනවා . ඒ වාගේම වැලිගම වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, එහි නිලධාරීන්, දකුණු පළාත් සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම්තුමා ද ඩිංගිහාමි මාතාව ගේ දුක සැප නිරතුරුව ම සොයා බලනවා.
ඉතිං මේ සුන්දර ඩිංගිහාමි මාතාවට තව චිරාත් කාලයක් නිදුක් නිරෝගීව සිටීමට හැකි වේවායි කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment