Lifestyle

තාත්තා හම්බවෙන්න කවුරු හරි ආවොත් මම දොර රෙද්ද අස්සෙන් ගිහින් එබිකම් කරලා බලා ගෙන ඉන්නවා – දයාන් විතාරණ

ගායනයටත් ඡායාරූපකරණයටත් එකලෙස සමර්ථ දයාන් විතාරණයන්ගේ ජීවිත කතාවේ අපිට ගත හැකි දේ බොහෝමයි.
මොහුගේ උපන් ගම මාතර දෙනිපිටියේ. නමුත් පදිංචි වෙලා හිටියේ මාතලේ. තාත්තා රජයේ නිලධාරියෙක්. තාත්තා තැනින් තැනට මාරුවෙ කොට පවුලෙ හැමෝම ඔහුත් එක්ක යනවා. මූලික අධ්‍යාපනය ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට. ඊට පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට යනවා.


දිනක් නුවරඑළියේ දී නරිබෑන නාට්‍ය බලන්න ගිය අතරෙ ගම දුවට රගපෑවේ ශ්‍රියානි අමරසේන මහත්මිය. ඔහු මුලින්ම හැබැහින් දුටුව නිළිය තමයි ඇය. ඒ වගේම පළමුවෙන්ම ඡායාරූපයක් ගත්ත නිළියත් ඇය. මොහු කුඩා කල සිටම සින්දු කියන්න හරිම කැමතියි.ගෙදරට කවුරු හරි ආවොත් සින්දුවක් තියෙනවා. දයාන් විතාරණයන්ගේ අම්මයි තාත්තයි හොඳට රසවින්දනයක් ඇති පුද්ගලයන්. ඒ නිසාම වෙන්න ඇති මොහුත් කලාවට ලැදි අයෙක් වන්නේ.


තාත්ත ඉන්න කාලේ සුඛෝපභෝගී ව ජීවත් වුණත් ඔහු හෘදයාබාධයකින් හදිසියේ ඔවුන් අතරින් වියෝ වෙනවා. දයාන් විතාරණයන් මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනීම ලබද්දී තමයි ඔහුගේ තාත්තා ජීවිතයෙන් සමු ගන්නේ. පසුව ආර්ථික අපහසුතා රැසක් මොවුන්ට පැන නගිනවා. කුකරි ක්ලාස් සහ මැහුම් ක්ලාස් කරලා තමයි අම්ම පවුල රැක ගත්තේ.

උසස් පෙළ කරලා ඉවරවුණු ගමන් ම කොළඹ එනවා. ඒ එන්නේ නළු නිළියන් හැබැහින් දැක ගන්නට ඇති ආශාව නිසා. ඒක ඔහුගේ ලොකු ආසාවක්. ඡායාරූප ශිල්පියෙක් වුණාට පසුව තිබුණු කාර්ය බහුලත්වය නිසා ගායනය පිළිබඳ හිතන්නට කාලයක් නොමැති වුණා. නන්දා මාලණි මහත්මිය පින්තූර ගන්න ඇවිත් කරපු යෝජනාවක් නිසා තමයි මොහු ඇත්තටම ගායකයෙක් වුණේ.

රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද රචනයෙන් වැටෙන් එහා මල් පඳුරේ ගීතය ගයමින් තමයි මොහු මුලින්ම ගායකයෙක් වුණේ. ඒ ඔහුගේ කලා දිවියේ අලුත් පිටුවක් පෙරලමින්. ඉන් පසුව පියවරෙන් පියවර ගීත ගායනා කිරීමට ආශාවක් ඇති වූ දයාන් විතාරණයන් පුදසුනක නිසල බව ඔබේ සුසුම් පවන් සලයි, ඩැෆඩිල් මල, වසත් කාලය මනරම් වැනි සින්දු කරන්න පටන් ගත්තා.

විවාහය සඳහා කලාවෙන් ම ජනප්‍රිය නිළියන්ගෙන් ආරාධනා ලැබුණත් ඒ පිළිබඳව කැමැත්තක් නොදැක්වූයේ අම්මාට එයින් වෙනසක් සිදුවෙයි කියන බයටයි. මුල් කාලයේ දී අම්මත් විවාහය පිළිබඳව බලපෑම් කළ ද පසුකාලීන වන විට ඇයත් ඒ තරම් තරවටු නො කලේ දයන් විතාරනයන් එයට විරුද්ධ වූ නිසාවෙනි. මොහුගේ සෑම ඕනෑ එපා කම් සිදු කරන්නේ අම්මා බවත් බිරිඳක් ගෙනා පසු අම්මට ඒ සියල්ල සිදු කිරීමට නො හැකි බැවින් අම්මට කෙසේ දරා ගත හැකි වේවිදැයි යන සැකයෙන් තමයි මොහු විවාහ නොවී තිබෙන්නේ.

විවාහයක් නොමැති උනාට ප්‍රේමය ආදරය අත්‍යවශ්‍ය බවත් ඔහු හුදකලා පුද්ගලයෙකු නොවන බවත් ප්‍රේමය විඳින ප්‍රේමය හොඳට දන්න කෙනෙක් බව ඔහු සදහන් කරනවා. අල්ල ගන්න නැති අතහරින්න පුළුවන් ප්‍රේමයක් තමයි ඔහුට තිබෙන්නේ.

ගීත 468 ගායනා කර තිබෙන මොහුට තව ඉදිරියටත් ගීත පටිගත කිරීම් කිහිපයක් ම තිබෙනවා. ඔහුගේ අපේක්ෂාව කරදරයක් නැතිව සතුටින් ඉතිරි කාලය ගෙවන්නට.කලාව තුල තව තවත් නිර්මාණ රසිකයන්ට ගෙන ඒමට හැකි වීමටත් කරදරයක් නොමැතිව ඉතිරි කාලය ගත කරන්නට හැකි වේවායි අපේ හද පිරි සුබ පැතුම් එක් කරමු.

Leave a Comment