Lifestyle

ගිණිමල් පොකුරු වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි චිත්‍රපටයක් – චුලක්ශි රණතුංග

චුලක්ශි රනතුංග ජාත්‍යන්තරව සිනමාව දිනාගත් නිරූපණ ශිල්පිනියක්. නිරූපණ ක්ෂේත්‍රයත් එක්ක නිරන්තරයෙන් දකින චුලක්ශි පසුගිය වසර කිහිපය තුළ සිනමාවෙන් දකින්නට ලැබුණා. සුරූපී හැඩකාර චුලක්ශි රනතුංග කලාවට පිවිසෙන්නේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන්. 2014 වසරේ මිස් ශ්‍රී ලංකා තරගයෙන් ජයග්‍රහණය කරන ඇය වසර දෙකකට පසුව සිනමාවට එක්වුණා. ඇය ඇගේ කලා ජීවිතය ගැන මෙහෙමයි කිව්වේ.

“මම පුංචි කාලේ ඉඳලා කලා ජීවිතයට ආසයි. හැබැයි ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනකම් මගේ හිතේ ආශාවක් වත් හීනයක්වත් තිබ්බෙ නැහැ. මගේ අයියා පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඒ නිසා මාත් පුංචි කාලේ ඉඳන් ක්‍රීඩාවට වැඩිපුර නැඹුරු වෙලා හිටියේ. අවසානයේදී හීනෙකින්වත් බලාපොරොත්තු නොවු ක්ෂේත්‍රයකට මම යොමු වුණා. මම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ. ප්‍රින්සිපල් මැඩම් ගේ ගෙදර නතර වෙලයි මම ඉස්කෝලේ ගියේ. මම පොඩි කාලෙ ඉඳන්ම ගෙවල් වලින් ඈත් වුණු වේදනාවෙන් තමයි ජීවත් වුණේ. ඒ නිසාම තමයි මම ක්‍රීඩාවට මේ තරම් නැඹුරු වුණේ.”

ඇයගේ කුඩා කාලය ගැන මෙහෙමයි සදහන් කලේ. ඇය මේ දිනවල ගොඩක් කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. ඒ ඉදිරියේදී තිරගත වන්නට තිබෙන ගිනිමල් පොකුරු චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන නිසා. ඒ විතරක්ම නොවේ. ඇගේ මවගේ පෞද්ගලික වැඩ කටයුතුත් සමඟ තමයි ඇය කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ මව රෝගාතුර වෙලා සිටින නිසා. ඇය එම චිත්‍රපටය තුළ පියුමි යන චරිතය තමයි රංගනයෙන් දායක වන්නේ. එය ඉතා අභියෝගාත්මක චරිතයක්. එම චරිත ස්වභාවය දෙස බැලූ විට තම පෙම්වතාගේ ගැටළු සමගින් මුහුණ දෙන්නට තිබෙන අභියෝගාත්මක සිද්ධීන් තමයි තිබෙන්නේ.

චුලක්ෂිගේ ජීවිතයේ අමතක නොවනම මතකය තමයි ඇය මිස් ශ්‍රී ලංකා වීම. එදා ඇයට කියාගන්න බැරි සතුටක් ඇතිවුණා. ඇය මවට වඩා ආච්චි අම්මා එක්ක තමයි ගොඩක් සමීප. මොකද ඒ ඇයගේ මව ව්‍යවසායිකාවක් නිසා ඇයගේ මවට ඔවුන් සමඟින් කාලය ගත කරන්නට අවස්ථාව නොලැබුණු නිසා. පවුල තුළින් කලා ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රථම කෙනා චුලක්ශි බව ඇය ආඩම්බරයෙන් පැවසුවා.

මිස් ශ්‍රී ලංකා තරගයට ඇතුළත් වීම ගැන ඇය සඳහන් කළේ 2013 වසරේ තමයි ඒ සඳහා සහභාගි වෙලා තියෙන්නේ. ඒ සඳහා ගෙදරින් කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. ඇගේ තනි තීරණයට තමයි ඒ සඳහා සහභාගි වුණේ. රොසෑන් ඩයස් මහත්මිය ළඟ තමයි ඇය මොඩ්ලින් පිළිබඳව ඉගෙන ගත්තෙ. 2012 වසරේදී තමයි ඇය ඇප්ලයි කරන්නේ මුලින්ම. නමුත් ඒ තරගයෙන් ඇය අසමත් වෙනවා. 2013 දී තමයි ඇයට ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණේ. ඒ ජයග්‍රහණයත් එක්ක ඇගේ ජීවිතය වෙනස්ම අතකට පෙරලුනා.

ඇයගේ ආදර සම්බන්ධය ගැන ඇය කිව්වේ මෙහෙමයි.

“ඇත්තටම එහෙම කෙනෙක් නෑ. මම තනි කමට ගොඩක් කැමතියි. අවශ්‍ය කාලයේදී දෙන්නෙක් වෙන්න හිතුනොත් දෙන්නෙක් වෙයි. දැනට පෙම්වතෙක් නැහැ. හමුවෙන කාලයේදී හමුවේ කියලා මම හිතනවා. එතෙක් මම මගේ ගමන යනවා.”

අලුත් චිත්‍රපටිය ගැන ඇය කතා කලේ එහි රංගනයෙන් දායක වෙන්න කලින් ඇගේ මවගෙන් අවසර අරන් තිබුණා. ඒ ඇය රංගනයෙන් දායක් වෙන්නේ 18 වැඩි පුද්ගලයන් සදහා පමණක් නැරඹීමට හැකි චිත්‍රපටයක් නිසා. මෙවැනි චිත්‍රපටයක රංගනයෙන් දායකවීමට ඇයට කිසිම බයක් හිතුණේ නැහැ කියලයි ඇය කිවුවේ. ඇය විශ්වාස කරන්නේ ඔවුන් සිදු කරන්නේ කලා ශිල්පීන් හැටියට වෘත්තියක්. වෘත්තීය තුළින් චරිතයක් රංගනය කිරීම තමයි කලා ශිල්පීන් ලෙස ඔවුන් කරන්නේ. ඇය හිතන්නේ පුද්ගලයා දකින සහ බලන විදිය තුලින් තමයි එය එක එක්කෙනාට වෙනස් වෙන්නේ කියලා. සමාජයේ දෘෂ්ටිකෝණයත් එක්ක ගොඩක් නළු නිළියෝ මෙවැනි චිත්‍රපටවල රංගනයෙන් දායකවීමට ඉතා බියක් දක්වන බව ඇය පැවසුවා.

ඇය දකින ආකාරයට අනුව සෝෂල් මීඩියා තුළින් පුද්ගලයෙකුගේ ප්‍රතිරූපයක් ඇති කරන්නට සහ නැති කරන්නට පුළුවන්. සෝෂල් මීඩියා කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. චුලක්ශි හිතන්නේ සෝෂල් මීඩියා හරි විදිහට පාවිච්චි කරනවා නම් ඒක ගොඩක් වටින දෙයක් බව. ගමෙන් නගරයට ආ චුලක්ශිගේ ජීවිතයේ කිසි වෙනසක් නෑ. ඇය වැඩිපුරම කැමති ගමේ ජීවත් වෙන්න. ඇය අවසාන වශයෙන් සදහන් කළේ මෑත කාලයේ දකින්න තිබෙන හොඳ චිත්‍රපටයක් ලෙස උදයකාන්ත වර්ණසූරිය මහත්මාගේ ගිනිමල් පොකුරු චිත්‍රපටය හදුන්වන්න පුලුවන්. ඉතින් ඇය සියලු දෙනාටම ඇරයුම් කරනවා මෙම චිත්‍රපටය නරඹන්න කියලා. මෙය නරඹා අනාගත සිනමා ක්ෂේත්‍රය රැක ගනිමු යනුවෙන් ඇය සියලු ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඉතින් මේ හැඩකාර රංගන ශිල්පිනියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක අයුරින් සිදුකර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment