Lifestyle

ඉංග්‍රීසියෙන් බණ කියා රුපියල් මිලියන 30ක දහම් පඬුරු දරුවන් වෙනුවෙන් කැප කළ බුද්ධ පුත්‍රයාණන්

ශාසනය තුළ පැවිදි වෙලා ඉන්න අපිට ලෞකික ජීවිතය පිළිබඳව අනිත්‍යභාවය වටහා දෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ නිරන්තරයෙන් ම සමාජයේ සියලුම දෙනාගේ ගෞරවයට පත් වුණු චරිතයක්. ඉතින් එම ගෞරවාදරයට, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බුද්ධ පුත්‍රයාණන් කෙනෙක් විදියට වැදුම් පිදුම් ලැබීමට සුදුසු ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ.
මේ ස්වාමීන් වහන්සේ නමින් පූජ්‍ය පාද අඹන්පොල විනීත හිමියන්. උන්වහන්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරම පිහිටි පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ ගල්කිරියාගම උල්පතගම පිහිටි ශාක්‍ය සිංහාරාමයේ වැඩ සිටිනවා. උන්වහන්සේ තම ගම් පියසේ සිටින දරිද්‍රතාවෙන් බැට කන දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්නට බෙහෙවින් ක්‍රියා කරපු ස්වාමීන් වහන්සේ නමක්.

විනීත හාමුදුරුවෝ කුඩා අවධියේ බණ්ඩාරවෙල පාලිත හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ගල්කිරියාගම ශාක්‍යසිංහාරාමය ට වැඩම කොට තියෙනවා. උන්වහන්සේ කුඩා කාලයේ සිටම විවිධ අභියෝග මධ්‍යයේ ඉංග්‍රීසි භාෂාව නිසි ලෙස ඉගෙන ගෙන ඇති නිසාම විදෙස් රටවල් රැසකට ගොස් ඉංග්‍රීසියෙන් බුදු දහම පිළිබඳව ධර්මය දේශනා කිරීමේ හැකියාව උදා කර ගන්නවා.
උන්වහන්සේගේ ඉංග්‍රීසි භාෂාවෙහි නිපුණත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉංග්‍රීසියෙන් දහම් දේශනා කරමින් උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් වියදම් කරන්නේ මේ ගමේ ජීවත් වෙන දුප්පත් අහිංසක දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ කියන්නේ රුපියල් මිලියන 30 ක මුදල වියදම් කරමින් දෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කරන්නේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වලා නව තාක්ෂණික දැනුම ලබා දීමේ අරමුණ සහිතයි.

විනීත හාමුදුරුවෝ සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් රැසකට ම වැඩම කොට ධර්මය දේශනා කරනවා. එවිට ඒ රටවල දායක දායිකාවන් එක්වී මෙරට දරුවන්ට උපකාර කරන නිසා ඒ සියලුම දේ ලබාගෙන දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට හැකි ආයතනයක් නිර්මාණය කරනවා.
වල් අලිත් සමඟ පොර බදින මිනිසුන්ගේ දරුවන්ට අනාගතයක් සකස් කර දීමටයි යන චේතනාව හිතේ තියාගෙන තමයි උන්වහන්සේ ඉංග්‍රීසියෙන් බණ කියන්න පටන් ගත්තේ. එලෙස එකතු කරගත් මුදල් වලින් තමයි අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපන කටයුතු ඉතාමත් පහසුවෙන් කරගැනීමට හැකි බහුකාර්ය ගොඩනැගිල්ල ස්ථාපිත කරන්නට හැකි වුණේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මිනිස්සුන්ට අධිෂ්ඨානයක් කර ගත්තොත් වීරිය වැඩුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඒ උදාර බුද්ධ වචනය ජීවිතයේ පරමාදර්ශය බවට පත්කරගන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනාගත දරු පරපුරකට අපූරු තක්සලාවක් දායාද කර අවසන්.

මෙම ගොඩනැගිල්ල තුළ පරිගණක අධ්‍යාපනය, සිංහල අධ්‍යාපනය, ඒ වගේම දමිළ අධ්‍යාපනය, ස්වයං රැකියා පුහුණු කිරීම් ආදී දේවල් පිලිබදව අවබෝධය ලබා ගන්න පුලුවන්. මේ දරුවන්ට මේ සියලු දේවල් ලැබෙන්නේ නොමිලේ. උන්වහන්සේගේ අරමුණ වන්නේ ගමට රටට වැඩදායි යමක් කරන්නට පුළුවන් දරු පරපුරක් බිහි කරවීමටයි. ජීවිතයේ අනිත්‍යතාවය තේරුම් අරගෙන දහම මෙනෙහි කරන බුද්ධ පුත්‍රයාණන් කෙනෙක් විදියට විනීත ස්වාමීන් වහන්සේට පතන්නා වූ නිවන දුර නො වේවා කියා අපි හදවතින් ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Comment